බත් ගැටලුව!

හාල් ප්‍රශ්නය තව ම විසැඳී නැත. සාමාන්‍ය ලෙස ගත් කල සෑම සහල් වර්ගයක් ම පාහේ රුපියල් පහළොවකින් හෝ විස්සකින් හෝ ඉහළ ගොස් ඇත. එකිනෙක වෙළෙන්දා සිතූ - සිතූ ගණන්වලට හාල් අලෙවි කරන බවක් ද පෙනෙන්නට තිබේ. සහල් ගණන් ඉහළ යෑම හේතුකොට තවත් අහිතකර ප්‍රතිඵල කිහිපයක් මතු වී ඇත. එක; බත් පැකට්ටුවක මිල ඉහළ යෑම ය. දෙක පාන් පිටි පරිභෝජනය 15%කින් පමණ වැඩි වීම ය. තුන හාල් පිටි යොදා සකස් කරනු ලබන ආහාර ද්‍රව්‍යවල මිලත් නංවා තිබීම ය. සුදු ආප්පයක් රුපියල් දහයේ සිට රුපියල් දොළහ දක්වා ඉහළ ගොස් තිබේ. සියල්ලෙන් ම වදින්නේ ජනතාවගේ සාක්කුවට ය.

ශ්‍රී ලංකාව යනු සහල් නිර්යාත කළ රාජ්‍යයෙකි. සහල් අතිරික්තයක් තබා ගැනීම දිගට ම පවත්වාගෙන ගොස් තිබේ. කුමන තත්ත්වයක් යටතේ වුව රටේ සහල් පිළිබඳ ඒකාධිකාරය පවතින්නේ පෞද්ගලික වෙළෙඳුන් කිහිප දෙනකු අතේ ය. රජය කරන්නේ වැඩි මිලට වී ලබාගෙන අඩු මිලට සහල් සැපයීම ය. සහල් මිල ඉහළ යෑමට හේතුව සහල් හිඟය යැයි කියති. එහෙත් පෞද්ගලික ව්‍යාපාරිකයන් ළඟ අවශ්‍ය තරමටත් වඩා වී තොග ඇති බවට තොරතුරු හෙළිදරව් වී තිබේ. ඒ අනුව කෘත්‍රීම සහල් හිඟයක් මවා පා ඇති අතර දිගින් - දිගටම මිල ඉහළ දමමින් සිටී. උත්සව සමයේ දී ව්‍යාපාරිකයන් කල දුටු කල වළ ඉහගන්නා ප්‍රතිපත්තියක් අනුගමනය කරන බව පෙනෙන්නට තිබේ.

රජයට මේ සම්බන්ධයෙන් කළ හැක්කේ කුමක්ද? ප්‍රධාන විසැඳුම් දෙකක් පවතී. එක; වහාම ක්‍රියාත්මක වන පරිදි පිටරටින් සහල් ආනයනය කිරීමය. දෙක;‍ රජයේ වී ගබඩාවල ඇති වී කොටා සහල් වෙළෙඳපොළට නිකුත් කිරීම ය. දෙවන විසැඳුම මේ අවස්ථාවේ ක්‍රියාත්මක කළ නොහැකි බව රජය කියයි. හේතුව වී තොග ඇත්තේ ලබන අප්‍රේල් මාසයට පමණක් සමගාමීව ය. මහ කන්නය කරුණු දෙකක් නිසා දුර්වල වී ඇත. පළමු හේතුව නියඟය යි. දෙවන හේතුව ඇතැම් කුඹුරු වගා නොකිරීම යි. මේ අනුව වී තොග ආරක්ෂා කිරීමේ වුවමනාවක් පවතී. එක ම විසැඳුම ලෙස ඉතිරි ව ඇත්තේ සහල් ආනයනය කිරීම ය. පළමුවරට තීරු බදු රහිතව සහල් ආනයනය කිරීමේ අවස්ථාව පෞද්ගලික අංශයට ලබා දී ඇත.

සහල් මෙට්රික් ටොන් ලක්ෂයක් ගෙන්වීම රජයේ අරමුණ ය. මෙය පෞද්ගලික අංශයට භාර දීම ගැන ඇතැමුන් තුළ ප්‍රසාදයක් නැත. රජය සහල් ගෙන්වා ස.තො.ස මගින් බෙදා හැරියේ නම්; වඩාත් ප්‍රයෝජනවත් බව සමහරු පෙන්වා දෙති. මේ දිනවල ස.තො.ස. වෙළෙඳසල් තුළ සහල් පිළිබඳ යම් හිඟයක් ද දකින්නට ලැබේ. ස.තො.ස ට වඩා පෞද්ගලික අංශයේ සේවාවන් දියුණුය. එම වෙළෙඳසල් උපාය මාර්ග ඔස්සේ වැඩි ම පාරිභෝගික ආකර්ෂණයක් ඇති කරගන්නා බව ද සත්‍යයෙකි. කුමක් වුව සහල් පිළිබඳ ගැටලුවේ දී ස.තො.ස ට පමණක් එය විසැඳිය නොහැකි බව ද පිළිගත යුතු ය. මහජනයා ගේ අපේක්ෂාව වන්නේ ඉතා ඉක්මනින් සහල් මිල පහළ බසිනු ඇත යන්න ය. එසේ නො වුණ හොත් සියලු දෙනා ම බලවත් අසීරුවකට පත් වනු ඇත.

සහල් ප්‍රශ්නය සඳහා ඇත්තට ම බලපාන කරුණු ඇත. එලෙස ම වෙළෙඳුන් කෘත්‍රීම ලෙස මතු කරන ගැටලු ද ඇත. පැවැති නියඟය නිසා විශාල කුඹුරු ඉඩම් ප්‍රමාණයක් විනාශ වූ බවද, තවත් කුඹුරු ඉඩම් ප්‍රමාණයක අස්වැන්න අඩු වූ බව ද අසත්‍යයක් නො වේ. පොහොර ගැටලු ආදිය නිසා ද තවත් කුඹුරු ප්‍රමාණයක් අසාර්ථක වූ බව ද පිළිගත හැකි ය. එහෙත් සහල් පිළිබඳ හදිසි හිඟයක් මතුවීමට හේතුවක් නැත.ඊට පෙර කන්න කිහිපයක වී අස්වැන්න තව ම පවතින බව හෙළිදරව් වී තිබේ. රටට අවශ්‍ය තරම් වී තොග ව්‍යාපාරිකයන් පහළොස් දෙනකු අත ඇතැ’යි එක් පුවත්පතක් වාර්තා කර තිබිණි. එය බොරු යැයි කියන්නට කිසිවකුත් ඉදිරිපත් වූයේ නැත. එයින් පෙනී යන්නේ අවශ්‍ය තරම් වී තොග ඇති බව ය.

පිටරටින් සහල් ආනයනය කොට වෙළෙඳ පොළට නිකුත් කිරීමට පෙර පෞද්ගලික අංශයේ වී තොග එළියට එන්නටත් පුළුවන. සහල් ආනයනය ද පෞද්ගලික අංශයටම භාර දී ඇති බැවින් එය නොසිදුවන්නටත් පුළුවන. සහල් මෙට්රික් ටොන් ලක්ෂයක් යනු මාස කිහිපයකට ප්‍රමාණවත් සහල් ‍තොගයකි. මේ තොගය නිකුත්වීමත් සමඟ සහල් මිල රුපියල් විස්සකින් පමණ පහළ බැසිය යුතු යැයි පුරෝකථනය වී ඇත. එය එසේ සිදුවන්නේ නම්; උත්සව සමයේ දී සහල් මිල පිළිබඳ ගැටලුවක් මතු නොවනු ඇත. එහෙත් මෙහි අතුරු ප්‍රතිඵල එකවර අතුරුදන් වේ යැයි සිතිය නොහැකි ය.

සාමාන්‍ය වෙළෙන්දන් බත් පැකට්ටුවේ මිල ඉහළ දැමූ අතර යළිත් එය පහළ දැමීමට කැමැති වන්නේ නැත. සහල් මිල අඩු වුව බත් පැකට්ටුවේ මිල පවතින තත්ත්වයේම තිබෙන්නට පුළුවන. සහල් පිටිවලින් නිෂ්පාදිත ආහාර ද්‍රව්‍යවල මිලද ඉහළ නංවා ඇත. ඒවායෙහි මිල ද පහත වැටේ යැයි සිතිය නො හැකිය. පාරිභෝගිකයා පවා මේ ගැන බරපතළ ලෙස කල්පනා කරන්නේ නැත. ආහාර ද්‍රව්‍යවල මිල ඉහළ ගියොත් ගියාම ය. ආප්පයක මිල රුපියල් දහයේ සිට දොළහ දක්වා ඉහළ ගොස් තිබේ. එය සහල් මිල සමඟ ‍ නැවත රුපියල් දහයේ මට්ටමට වැටේ යැයි සිතන්නට බැරි ය. මෙයින් මතුවන තවත් අහිතකර ප්‍රතිඵලයක් වන්නේ පාන් පිටි නිෂ්පාදනවලට වැඩි ඉල්ලුමක් ඇතිවීම ය. දැනට ම එය සිදු වී තිබේ.

රටේ ජනතාවගේ ප්‍රධාන ආහාරය බත් ය. ශ්‍රී ලාංකිකයා තුන් වේලටම බත් කන ජාතියක් යැයි කීම ඉතා නිවැරැදි ය. එලෙස තුන් වේලටම බත් කන්නේ වුව කුඹුරු වගා කරන්නේ සුළු පිරිසෙකි. නිදහසට පෙර මෙරට ජනයාගේ ප්‍රධාන ආහාර භෝගය වූයේ වී වගාව ය. අවම ලෙස සෑම ගමකම වී කුඹුරු තිබිණි. ඒ හැරෙන්නට ගොඩ වී වගාවත් සාර්ථකව සිදු කැරිණි. ගොඩ වී වගාව දැන් ඇත්තේම නැති තරම් ය. රටේ විශාල කුඹුරු ප්‍රමාණයක් ගොඩකර ඇත. තවත් විශාල කුඹුරු ප්‍රමාණයක් පුරන් වී ඇත. කුඹුරු පුරන්වීම ගැන විමසන විට ලැබෙන පිළිතුර වන්නේ වී වගාවෙන් පාඩු සිදුවන බව ය. අතීතයේ දී අපේ මිනිසුන් කුඹුරු අස්වද්දන ලද්දේ තමන්ගේ ආහාරය සඳහා ය. නැතහොත් ස්වයං පෝෂණය සඳහා ය. අතිරික්තය පමණක් අලෙවියට තැබේ.

සහල් පිළිබඳ ගැටලුව අද - ඊයේ ඇති වූවක් නොවේ. සෑම වසරකම පාහේ උත්සව සමයන්හි දී හාල් මිල ඉහළ නංවන ප්‍රවණතාවක් දකින්නට ලැබේ. මේ ගැටලුව චක්‍රීය ආකාරයෙන් ක්‍රියාත්මක වන බවක් ද දකින්නට ලැබේ. වගාව සඳහා වතුර මුදාහරින කාලයට වතුර ප්‍රශ්න පවතී. බිත්තර වී අවශ්‍ය කාලයට ඒ පිළිබඳ ගැටලු පැන නඟී. පො‍හොර ගැටලු, වී අලෙවිය පිළිබඳ ගැටලු, වී ගබඩා කිරීම පිළිබඳ ගැටලු හා ඊළඟට සහල් මිල ඉහළ යෑම පිළිබඳ ගැටලුවත් මතු වේ. රටේ ප්‍රධාන ආහාරය සකස් කිරීම හා අලෙවි කිරීම, වගා කිරීම, ඊට අවශ්‍ය පහසුකම් සැපයීම යන සෑම ක්ෂේත්‍රයකම අර්බුද පවතී. මේවා විසඳාගත හැක්කේ පෞද්ගලික අංශයට සියල්ල භාර දීමෙන් නොවේ. රජය දීර්ඝ කාලීන හා ස්ථාවර සැලැසුමක් ඔස්සේ මේ ගැටලුවට විසැඳුම් සෙවිය යුතුය.


නව අදහස දක්වන්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
5 + 10 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.

Or log in with...