ශ්‍රී ලංකාවේ ප්‍රථම මහාපරිමාණ සුර්යබල ව්‍යාපෘතිය LOLC සමූහයේ සාගාසෝලාපවර් සමාගමෙන් | දිනමිණ

ශ්‍රී ලංකාවේ ප්‍රථම මහාපරිමාණ සුර්යබල ව්‍යාපෘතිය LOLC සමූහයේ සාගාසෝලාපවර් සමාගමෙන්

 LOLC සමූහයේ සාගාසෝලාපවර් (පුද්ගලික) සමාගම (Sagasolar) ශ්‍රී ලංකාවේ ප්‍රථම මහාපරිමාණ සූර්ය බලාගාරය විවෘතකරයි. හම්බන්තොට බරුත්තකන්දේ ඉදි කර ඇති මෙම සූර්ය බලාගාරය මඟින් මෙගා වොට් 10ක බලයක් උත්පාදනය කළ හැකි අතර, එය ජාතික විදුලි පද්ධතියට එක් කරනු ඇත. LOLC සමූහයේ අනුබද්ධ සමාගමක් වන සාගාසෝලාර්, ෆේබර් කැපිටල් සමාගම සමඟ එක්ව කටයුතු කරයි.

මෙම සූර්ය බලාගාරය, ෆොසිල ඉන්ධන භාවිතයෙන් විදුලිය නිපදවීමේ සිට තිරසාර පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන් දක්වා පරිවර්තනය වීම සඳහා වන ශ්‍රී ලංකාවේ ජාතික බලශක්ති ප්‍රතිපත්තියට අනුකූල වේ. ජල විදුලිබලය සමඟ ආරම්භ වූ මෙරට පුනර්ජනනීය බලශක්ති ගමන්මඟ සුළං බලයෙන් පෝෂණය වූ අතර, සාගා සෝලා දැන් දියත් කෙරෙන මෙම ඓතිහාසික ව්‍යාපෘතිය, මෙරට පවතින වඩාත් සුලභ සහ තිරසාර බලශක්ති ප්‍රභවය වෙතනව මංපෙත් විවර කරනු ඇත.

මෙම සූර්ය බලාගාරය, ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරී පනත යටතේ 2011 අගෝස්තු 23 1720 / 5 ගැසට් නිවේදනය මඟින් ප්‍රකාශයට පත්කරන ලද බලශක්ති සංවර්ධන කලාපයේ අක්කර 45ක භූමිභාගයක ඉදි කර ඇත. පෞද්ගලික අංශය මඟින් සිදු කරන මේ ආකාරයේ ප්‍රථම ව්‍යාපෘතිය වූ මෙම බලාගාරය, ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක විශාලතම සූර්ය බලාගාරය වන සුනිත්‍ය බලශක්ති අධිකාරිය සතු ඔවුන් විසින් නියමු ව්‍යාපෘතියක් ලෙස හම්බන්තොට පවත්වාගෙන යන මෙගාවොට් 1.3ක බලාගාරය මෙන් 7 ගුණයකින් විශාලය.

බලගැන්වීමෙන් පසු මෙම ව්‍යාපෘතිය මඟින් වසරකට ගිගාවොට් පැය 20 ක විදුලි බලයක් දළ වශයෙන් නිපදවනු ඇති අතර, එය මෙරට සාමාන්‍ය නිවෙස් 15, 000 ක වාර්ෂික විදුලි අවශ්‍යතා සපුරාලීමට සමත් වනු ඇත. ව්‍යාපෘතිය මඟින් ජාතික විදුලිබල පද්ධතියේ බල ජනනයේ දී නික්මෙන කාබන්ඩයොක්සයිඩ් ප්‍රතිශතයද අවම කෙරෙන අතර, වාර්ෂිකව එය ටොන් 11, 000ක් පමණ වනු ඇත.

මෙම සූර්ය විදුලි බලාගාරය විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා සහ විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී පෙරේරා මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා විවෘත කෙරිණ.

පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්‍රයේ මනා පළපුරුද්දක් ඇති බැංකු සන්ධානයක් මඟින් ව්‍යාපෘතියට මුල්‍ය දායකත්වය දැක්වූ අතර, DFCC බැංකුව එහි මූලිකත්වය ගෙන තිබේ. කොමර්ෂල් බැංකුව සහ හැටන් නැෂනල් බැංකුවද ඊට දායක වී තිබේ. එමෙන්ම මෙම ව්‍යාපෘතිය LOLC සමූහය සහ ප්‍රධානතම කොටස් සපයන්නා වූ ෆේබර් කැපිටල් සමාගම අතර ඒකාබද්ධ ප්‍රයත්නයකි.

‘තිරසාරභාවය ඔස්සේ ලබන ජයග්‍රහණ හුදෙක් වගකීමක් ඉටුකිරීමක් හෝ ගෞරවයේ ආභරණයකට වඩා වැඩි යමක් බව LOLC හි අපි විශ්වාස කරමු; එය අපේ ව්‍යාපාර ආකෘතිය හා බැඳී පවතින අතර, අද අප ළඟා වී ඇති සන්ධිස්ථානය කරා රැගෙනවිත් තිබේ. පසුගිය වසර කිහිපය මුළුල්ලේ පුනර්ජනනීය බලශක්තිය ශ්‍රී ලංකාවේ ආර්ථිකයේ ප්‍රමුඛත්වයක් ලැබූ අතර, පරිසර කළමනාකරණය උදෙසා අපේ කැපවීම වෙනුවෙන් පුරෝගාමී මෙහෙවරක් ඉටුකිරීමට LOLC සමූහය සැ දී පැහැ දී සිටී. සූර්ය බලශක්ති අංශයට උද්‍යෝගයෙන් පිවිසෙන අපි පෞද්ගලික අංශය මඟින් සිදු කරන මේ ආකාරයේ ප්‍රථම දැවැන්ත ව්‍යාපෘතියට එළඹෙන්නේ හරිතකාමී හෙටක් වෙනුවෙන් අපේ සැබෑ වුවමනාව පිළිබිඹු කරමිනි’ LOLC සමූහයේ නියෝජ්‍ය සභාපති ඉෂාර නානායක්කාර මහතා පැවැසීය.

ෆේබර් කැපිටල් සමාගම ආසියාවේ, අප්‍රිකාවේ සහ මැද පෙරදිග සුනිත්‍ය බලශක්ති ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම හා ඊට මුල්‍ය සහාය සැපයීමට විශේෂඥතාවක් ලැබූ ආයෝජන බැංකු සන්ධානයකි. ෆේබර් කැපිටල් කළමනාකාර අධ්‍යක්ෂ ඩිල්ෂාන් හෙට්ටිආරච්චි මහතා මෙසේ පැවැසීය.

‘ සූර්ය බලයෙන් බලශක්ති උත්පාදනය ශ්‍රී ලංකාවේ බලශක්ති නිපැයුම් ගමන්මඟ මීළඟ කඩඉමයි. තිරසාර ප්‍රභවයන් මඟින් බලශක්ති උත්පාදනයේ අඩසියවසකට ආසන්න අත්දැකීම් ශ්‍රී ලංකාව සතුවේ. විශේෂයෙන් ජලවිදුලිය ඒ සඳහා යොදා ගැනුණු අතර, පසුගිය දශකය තුල සුළං බලයද එය පෝෂණය කිරීමට එක්විය. මෙම උද්‍යෝගිමත් ව්‍යාපෘතිය සමඟ සූර්ය බලශක්තියද එම පාරම්පරික මුසුවට එක්කොට ඇත.ෆේබර් කැපිටල්හි අපි මෙම මංසලකුණු ව්‍යාපෘතිය සඳහා වසරකට පමණ පෙර ආයෝජන සිදු කළ අතර, ව්‍යාපෘතිය නිම කිරීම සඳහා අවශ්‍ය ක්‍රියාත්මක කිරීමේ සහ මුල්‍ය සැපයුම් අංග ඒකාබද්ධ කිරීමට සමත් විය. මෙම ව්‍යාපෘතිය, මෙරට වඩාත් තිරසාර හරිත බලශක්ති ප්‍රභවයක් ලෙස සූර්ය බලශක්ති උත්පාදනය ජනප්‍රිය කිරීම සඳහා පුරෝගාමී වනු ඇතැයි අපි අපේක්ෂා කරමු.’ 

නව අදහස දක්වන්න