ආයෝජන පිළිවෙත අවුලක | දිනමිණ

ආයෝජන පිළිවෙත අවුලක

වසන්ත ප්‍රිය රාමනායක

ශ්‍රී ලංකාව වැනි කුඩා වෙළෙඳ පොළක් සහිත රටක ආයෝජනය කිරීමට ආයෝජකයෝ නොපැමිණෙති. මේ නිසා අපට ගිවිසුම් ගතව විශාල වෙළෙඳපොළක් පවතින බව තහවුරු කර ඔවුන් කැඳවා ගැනීමට සිදු වනු ඇත. වත්මන් රජය අනුගමනය කිරීමට සූදානම් වන්නේ එම ආර්ථික උපාය මාර්ගය බව පෙනේ. එය නිවැරැදිය. එහෙත් අදාළ පාර්ශ්වයන් හා රටවල් සමඟ ගිවිසුම්වලට එළැඹීමේ දී අපේ අනන්‍යතාවය ද සුරැකෙන පරිදි ඒවාට යොමුවීමේ වැදගත්කම ආණ්ඩුවට අමුතුවෙන් කියා දිය යුතු නැත.

ශ්‍රී ලංකාවේ අතීත සංවර්ධනය දේශීය කෘෂිකාර්මික නැඹුරුවකින් හා වෙළෙඳාම පදනම් කරගෙන පැවැති බවට ඕනෑ තරම් සාක්ෂි අපට හමු වේ. වෙළෙඳ සබඳතාවය, ජාත්‍යන්තර වෙළෙඳාම පදනම් කරගෙන සිදු වී තිබෙන බව පෙනේ. කෘෂි ආර්ථිකයේ අතිරික්තය පිටරටට අලෙවි කිරීමට තරම් එදා අපේ ගොවිතැන ශක්තිමත් මෙන් ම ස්වයංපෝෂිත විය. මහාපරාක්‍රමබාහු යුගයේ සහල් අපනයනය මීට හොඳම නිදසුනකි. පොළොන්නරුවේ කලිංග ඇළ හරහා සිදු වූ නාවික ගමනාගමනය කෘෂි බෝග අපනයනය පදනම් කරගෙන සිදු වුවක් වගේය. ඉපැරැණි වාරි සංස්කෘතිය හා ඒ හා බැඳුණු තාක්ෂණය මේ ස්වයංපෝෂිත කෘෂි ආර්ථිකය නඩත්තු කිරීමට හේතු විය.

පසුකාලීනව නැතිනම් මධ්‍යකාලීන යුගයේ කුළු බඩු, අලි ඇතුන් හා මුතු මැණික් වෙළෙඳාම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව ඉහළ ප්‍රසිද්ධියක් හිමි කරගෙන තිබුණි. අරාබි වෙළෙඳුන් හා යුරෝපීය ජාතීන් මෙරටට පැමිණෙන්නේ වෙළෙඳාම නමැති කාරණය පදනම් කරගෙනය. අතීතයේ මන්නාරම, රුහුණේ ගොඩවාය, ත්‍රිකුණාමලය වැනි වරායන් අපේ රටේ ජාත්‍යන්තර වෙළෙඳාමට අදාළ නාවික කටයුතු හැසිරවූ ස්ථාන ලෙසින් සැලකේ. සුප්‍රකට ගොඩවාය සෙල් ලිපියෙන් අනාවරණය වන්නේ රේගු බදු අය කිරීමක් සම්බන්ධයෙනි. රේගු බදු අය කිරීමට නම් එතැන ජාත්‍යන්තර වෙළෙඳාමක් සිදු විය යුතු ය. විශේෂයෙන් ම එදා චීනය ශ්‍රී ලංකාව ද අයත් වන පරිදි සේද මාවතේ වෙළෙඳාමේ නිරත වීම නිසා, අපේ වාණිජ කටයුතු තවත් දියුණු වූ බව පැවසේ. සාමාන්‍යයෙන් ශ්‍රී ලංකාවේ භූගෝලීය හැඩරුව යැපුම් කෘෂිකර්මය ඉක්මවා ගිය වාණිජ ආර්ථිකයකට අනුබල දෙන පිහිටීමකි. මේ නිසා සේද මාවතේ මෙන් ම දකුණු ආසියාවේ වාණිජ මධ්‍යස්ථානයක් ලෙසින් ශ්‍රී ලංකාව ප්‍රකටව පැවතිණ.

භූගෝලීය හා වාණිජමය පිහිටීම අතින් ස්වභාවිකවම අපට ලැබී තිබෙන වාණිජමය උරුමය, රට දියුණු කිරීමේ හා සංවර්ධනය කිරීමේ සාධකයක් ලෙසින් වත්මන් රජය උපාය මාර්ගිකව හඳුනාගෙන තිබේ.

තවදුරටත් අපේ අවශ්‍යතාවන් උදෙසා පවත්වාගෙන යන යැපුම් කෘෂිකර්මය හා පූර්ණ වශයෙන් සියල්ලගෙන්ම ස්වයංපෝෂිත වීමේ සංකල්පය එතරම් වලංගු වන්නේ නැත. මෙහි දී ‘එතරම්ම’ යන්නෙන් අදහස් වන්නේ යම් ප්‍රතිශතයකින් ආහාර තොග රැස්කර තබා ගැනීමෙන් ඉවත්වීම හෝ කුඹුරුවල රෝස මල් වගා කිරීම වැනි අන්තවාදී ස්ථාවරයක් ගැනීම නොවේ. යම් ආහාර සංචිතයක් තබා ගැනීම හා ඒ වෙනුවෙන් වගා කිරීම අත්‍යවශ්‍යය. එසේ ම රටේ මූලික ආර්ථික සංවර්ධනය වෙළෙඳාම නැතිනම් ආයෝජන පදනම් කරගෙන සිදු විය යුතුය. වැඩි වැඩියෙන් රස්සා ජනිත වන්නේ වෙළෙඳාම පදනම කර ගත් ආයෝජන ඇසුරිනි.

එසේ ම අපේ රටේ ඉන්දියාව, චීනය වැනි පුළුල් වෙළෙඳ පොළක් නොමැත. මේ නිසා අපට සිදු වී තිබෙන්නේ අපේ හෝ වෙනත් රටවල නිෂ්පාදන ප්‍රතිඅපනයනය කිරීමටය. නැතිනම් ගිවිසුම් මාර්ගයෙන් දැවැන්ත වෙළෙඳපොළක් නිර්මාණය කර ගැනීමටය. මේ නිසා ප්‍රතිඅපනයනයට වැඩි ඉඩක් ලබා දී තිබේ.

ගිවිසුම් වැදගත් ඇයි?

කොළඹ වරායේ ආදායමින් සැලකිය යුතු කොටසකට ඉන්දියානු ප්‍රතිඅපනයන වගකියන බව කිසිවකුට රහසක් නොවේ. එසේ ම ශ්‍රී ලංකාව තුළ ජාත්‍යන්තර ආයෝජන උදෙසා කුඩා ජනගහනයක් දක්නට ලැබුණ ද ශ්‍රී ලංකාව ආශ්‍රිත ඉන්දියානු සාගර කලාපය දැවැන්ත ජාත්‍යන්තර වෙළෙඳ පොළක් නිර්මාණය කර දී තිබේ. අපේ ආයෝජන එම කලාපය තුළ අලෙවි කිරීමට කටයුතු සලසා ගන්නේ නම් ජාත්‍යන්තර වෙළෙඳාම පදනම් කරගෙන අපේ රට සංවර්ධනය කිරීම හා රැකියා ජනිත කරවීම අපහසු කාර්යයක් නොවනු ඇත. මේ නිසා උපාය මාර්ගික වශයෙන් ඉන්දියාව, චීනය වැනි ආසියාවේ දැවැන්තයන් සමඟ මෙන් ම සිංගප්පූරුව, මැලේසියාව ආදී දැනට ජ්‍යත්‍යන්තර වෙළෙඳපොළ ජයගෙන තිබෙන රටවල් සමඟ වෙළෙඳ ගිවිසුම්වලට එළැඹීම නිවැරැදිය.

විශේෂයෙන් ම පවතින ගෝලීය ආර්ථික සංදර්භය තුළ මීට වඩා වෙනත් විකල්පයක් නොපෙනේ. අපට අපේ අපනයන ආදායම වැඩිකර ගැනීමට අවශ්‍ය නම් එය දැනට පවතින්නේ ඉතා පහළ මට්ටමක නම් මේ පසුබිම වෙනස් කරගත යුතුව ඇත. එසේ නොමැතිව දිගින් දිගට පිරිහෙමින් පවතින රුපියල යම් ස්ථාවරයකට ගෙන ඒමටවත් නොහැකි වනු ඇත.

එසේ ම ශ්‍රී ලංකාව වැනි කුඩා වෙළෙඳ පොළක් සහිත රටක ආයෝජනය කිරීමට ආයෝජකයෝ නොපැමිණෙති. මේ නිසා අපට ගිවිසුම් ගතව විශාල වෙළෙඳපොළක් පවතින බව තහවුරු කර ඔවුන් කැඳවා ගැනීමට සිදු වනු ඇත. වත්මන් රජය අනුගමනනය කිරීමට සූදානම් වන්නේ එම ආර්ථික උපාය මාර්ගය බව පෙනේ. එය නිවැරැදිය. එහෙත් අදාළ පාර්ශ්වයන් හා රටවල් සමඟ ගිවිසුම්වලට එළැඹීමේ දී අපේ අනන්‍යතාවය ද සුරැකෙන පරිදි ඒවාට යොමුවීමේ වැදගත්කම ආණ්ඩුවට අමුතුවෙන් කියා දිය යුතු නැත.

හම්බන්තොට ආයෝජන කලාපය මේ වන විට මහත් ආන්දෝලනයකට ලක්ව තිබෙන්නේ මෙවන් පසුබිමකය. මත්තල ගුවන්තොටුපොළ හා හම්බන්තොට වරාය චීන ආයෝජන මත ඉදිවූවකි. ඊට අදාළ ණය වාරිකය පොළිය සමඟ ගෙවා දැමිය යුතුය. ඊට එහි ආදායම කිසිසේත්ම ප්‍රමාණවත් නොවේ. ප්‍රවාහන අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා සඳහන් කරන පරිදි මත්තල ගුවන් තොටුපොළේ ණය ගෙවීම සඳහා මසකට රුපියල් කෝටි 30ක් ද එහි සිටින සේවකයන්ගේ පඩිනඩි වෙනුවෙන් තවත් රුපියල් බිලියන 74ක් ද වැය වේ. එහෙත් එම ගුවන්තොටුපොළෙන් වාර්ෂිකව රුපියල් මිලියන 10කවත් ආදායමක් ලැබෙන්නේ නැත. මත්තල ගුවන් තොටුපොළ හා හම්බන්තොට වරාය ආශ්‍රිත කලාපය ශ්‍රී ලංකා - චීන හවුල් ව්‍යාපාරයක් ලෙසින් පමණක් නොව ඒ ආශ්‍රිත ප්‍රදේශය ආයෝජන කලාපයක් ලෙසින් සංවර්ධනය කිරීමට සූදානම් වන්නේ මේ ණය අර්බුදයට ද විසඳුමක් ලෙසිනි.

එහෙත් මේ සඳහා අක්කර 15, 000ක ආයෝජන කලාපයක් වෙන් කිරීම හෝ හම්බන්තොට වරාය චීනය 80% ක් හා ශ්‍රී ලංකාව 20%ක් ලෙසින් 99 අවුරුදු බදුකරයකට යටත්ව සංවර්ධනය කිරීමට යෑම කොතරම් රටට වාසිදායක ද යන්න නැවත සිතා බැලීමට සිදු වේ. අසූවයි විස්ස යනු චීනයටම පැවරුවා හා සමානය. අවසන් කෙටුම්පත අත්සන් නොකළ පදනමක් තුළ මේ දළ යෝජනාව සම්බන්ධයෙන් මහජන විරෝධයක් මතුවෙමින් පවතී.

ඉඩම් ප්‍රශ්නය

එය මූලික වශයෙන් ඉදිරිපත් වන්නේ ඒකාබද්ධ විපක්ෂය හරහා වුව ද රජය නියෝජනය කරන ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කණ්ඩාමේ මැති ඇමැතිවරුන්ගේ විරෝධතතාවය ද ඊට එක් ව තිබේ. හම්බන්තොට දිස්ත්‍රික්කය නියෝජනය කරන එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහා ලේකම් අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කරන්නේ අක්කර 1500කට වඩා ඒ සඳහා ලබා දිය නොහැකි බවයි. එසේ ම ජනතාවගේ ගම්බිම්, නිවාස හා පෞද්ගලික දේපොළ මේ සඳහා උපයෝගී කර ගැනීමට ද ඉඩ නොදෙන බව ඇමැතිවරයාගේ පැහැදිලි කිරීමේ සඳහන් වේ. එහි සරල තේරුම, හම්බන්තොට වුවද අක්කර දහස් ගණනින් ආයෝජන සඳහා වෙන් කිරීමට ඉඩම් නොමැති බවයි.

මේ නිසා පැමිණෙන ආයෝජනවලට සාපේක්ෂව ඉඩම් සොයා දෙනවා ද, තවමත් පැමිණ නැති ආයෝජන ව්‍යාපෘති වෙනුවෙන් ඉඩම් වෙන් කර ජනතාව ඒවායින් ඉවත් කර හිස් භූමි සකස් කරනවා ද යන ප්‍රශ්නය රජයක් ලෙසින් විසඳාගත යුතුය. මේ වන විට රටේ ආයෝජන කලාප 12ක් පමණ ක්‍රියාත්මක වේ. සමහර කලාපවලට සැලකිය යුතු මට්ටමේ ආයෝජන පැමිණ නැත. මෙම කලාප 12 තුළම වෙන්ව ඇත්තේ අක්කර 3000කට නොවැඩි ඉඩම් ප්‍රමාණයකි. මින් ආයෝජන ව්‍යාපෘති ක්‍රියාත්මක වන්නේ අක්කර 1900ක පමණය. මේවායේ තවමත් නොපැමිණි ආයෝජකයන් වෙනුවෙන් ද අක්කර 1000ක් පමණ වෙන්ව ඇත. මේ අත්දැකීම හම්බන්තොට වැනි යෝජිත නව ආයෝජන කලාප වෙනුවෙන් උපයෝගී කර ගැනීමට නොහැකි මන්දැයි පැහැදිලි හේතුවක් නම් නොපෙනේ.

මේ අතර විපක්ෂයෙන් දැන් දැන් අසන්නට ලැබෙන්නේ වත්මන් රජය අක්කර දහස් ගණනින් ආයෝජන කලාප ගොඩ නඟමින් රාජ්‍ය ව්‍යාපාර විකුණා දැමීමේ පිළිවෙතකට අවතීර්ණ වී ඇති බවකි. මෙය පාඩු මෙන් ම ලාභ ලබන රාජ්‍ය ආයතනද විකුණා දැමූ අතීතය මෙනෙහි කිරීමක් ලෙසින් සැලකේ. එසේ ම එය යූ.ඇන්.පී. ආණ්ඩුවල සුපුරුදු පිළිවෙත ලෙසින් ද පැවසේ. මෙය සමාජ වෙළෙඳ පොළ ආර්ථිකයක් ලෙසින් හැඳින්වීම කෙසේ වෙතත් ගෙඩිය පිටින් ගිල දමන ‘නව ලිබරල් චින්තනය’ ලෙසින් හුවා දැක්වීමට විපක්ෂය සූදානම් වන බව පෙනේ. මේ සඳහා දැන් ආණ්ඩුව නියෝජනය කරන ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කණ්ඩායම ද හවුල් කර ගෙන ඇතැයි ඔවුහු චෝදනා කරති. එහෙත් රජය නියෝජනය කරන ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කණ්ඩායම තුළ ද මේ පිළිවෙත සම්බන්ධයෙන් විවේචනයක් ඇත. විශේෂයෙන් ම ලාභ ලබන "රාජ්‍ය ආයතන" රාජ්‍ය හා පෞද්ගලික ඒකාබද්ධ ආයෝජන පිළිවෙත යටතේ සංවර්ධනය කිරීමට සහයෝගයක් දැක්වීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කණ්ඩායම සූදානම් නැත.

රජයේ දුර්වලතාව

මේ කිසිවක් සම්බන්ධයෙන් නිවැරැදි පැහැදිලි කිරීමක් රජය පැත්තෙන් ඇති බවක් නොපෙනේ. සුපිරි අමාත්‍යවරයකු ගොඩනැඟීමේ පනත් කෙටුම්පත වුවද විවාදයට ලක්වන්නේ මෙවන් පසුබිමකය. එය මේ වන විට පළාත් සභා දෙකකින් ප්‍රතික්ෂේප වී ඇත. උතුරු පළාත් සභාව ද ඊට ඇතුළත්ය. සුපිරි අමාත්‍යවරයකු නිර්මාණය කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විරෝධතාවය මේ වන විටත් ප්‍රකාශ වී හාමරය. මේ අතර අදාළ පනත සංශෝධනය කිරීමට අග්‍රාමාත්‍යවරයා මහ ඇමැතිවරුන්ගේ හමුවේ දී එකඟ වූ බව මාධ්‍ය වාර්තා කර තිබුණි. එය යහපත්ය; ප්‍රජාතන්ත්‍රවාදී ය.

දිවයිනට පැමිණෙන ආයෝජකයන් මාස ගණනින් රස්තියාදු කිරීමෙන් තොරව දින ගණනාවක් ඇතුළත ඒ අයගේ ආයෝජන ව්‍යාපෘති වෙනුවෙන් කඩිනම් සේවාවක් සැපයීම මෙම පනතේ අරමුණ බව රජය පවසයි. එම පැහැදිලි කිරීම වුව ද එතරම් සාර්ථක නැත. ඒ සඳහා සුපිරි ඇමැතිවරයකු නිර්මාණය කිරීමෙන් තොරව වෙනත් "අධිකාරි ආයතනයක්" ගැන නො වෙනත් විකල්ප ක්‍රියා මාර්ගයක් පිළිබඳව වුව ද කතාබහවීමක් නොමැත.

මේ නිසා චේතනාව යහපත් වුව ද නිවැරැදි පැහැදිලි කිරීම් සිදු නොවීම නිසා අදාළ සියලු කාරණා සම්බන්ධයෙන් යම් ව්‍යාකූලතාවක්, අවුලක් හට ගෙන තිබේ. මෙය යහපාලනයකට නම් සුදුසු වන්නේ නැත.

අදහස් 1ක් ඇත

me thanatura ithama wagakimakin nokaloth ratama anathureya, hethuwa me sadaha awassya wanne arthika widdyawa , welada nohoth wanija karanaya ,, manegment ,,upadi , icologhy, desapalana widdyawa inter national sahayogikatha pilibandawa athi widdyathmaka gunaya samaga athi pudgalayeku misa an kisiwekuta me wiswa karma supar amathi duraya ta lankawe inna pudgalaya kawuda yannaya, ,,, game gode katha kiya kiya pirithhkiya kiya dewalawalata gihin balaya illna modayekuta meka dunnoth ratama winasayi !

නව අදහස දක්වන්න