බෝම්බයක් හා රේල්පීල්ලක්

කෝච්චියට අදාළ සිද්ධි දෙකක් සම්බන්ධයෙන් කාගේත් අවධානයට යොමුකරවන්නට කැමැත්තෙමු. එක සිද්ධියකින් කියැවෙන්නේ කෝච්චියේ ඇති වූ බෝම්බ බියක් ගැන ය. ශ්‍රී ලංකාවේ පැවැති තිස් අවුරුදු යුද්ධය කාලය තුළ දී මෙවැනි බිය අමුතු දෙයක් නොවේ. එහෙත් යුද්ධය නිම වී වසර ගණනාවක් ගෙවී සාමය ස්ථාපිත වෙමින් පවතින යුගයක එබඳු බියක් හා සැකයක් ඇතිවීම ප්‍රශ්නකාරීය. දෙවන සිද්ධියෙන් කියැවෙන්නේ කෝච්චියක් අනතුරට ලක් කිරීම සඳහා මාර්ග බාධකයක් යෙදවීම ගැන ය. එය සැබෑවටම සිදුවී ඇති අතර රියදුරාගේ බුද්ධිමත්භාවය නිසා විශාල අනතුරක් වැළැක් වී ඇත.

පළමු සිද්ධියට මුහුණදුන්නේ කොළඹ ‍ෙකාටුවේ සිට බදුල්ල දක්වා ධාවනය වන ශීඝ්‍රගාමී දුම්රියකි. කොටුව දුම්රිය ස්ථානය තුළ බෝම්බ ප්‍රවෘත්තිය ලැව්ගින්නක් සේ පැතිර ගිය අතර සියලු මගීන් ඉවත් කරනු ලැබිණි. ඉක්බිති මුළු දුම්රියම සැලකිය යුතු කාලයක් මිඩංගු කරමින් පරීක්ෂාවට ලක් කැරිණි. එහෙත් සොයා ගත හැකි දෙයක් නොවීය. සැකකටයුතු පාර්සලය තුළ බෝම්බයක් තබා වයර් කෑල්ලක්වත් තිබුණේ නැත. මේ සිද්ධිය නිසා දුම්රිය පැය ගණනක් ප්‍රමාද විය. මගීහු බලවත් අසීරුතාවකට පත්වූහ. මෙය කිසිවකුගේ සැලැසුමක්ද යන්න වටහාගත නො හැකි ය. කුමක් වුව බෝම්බ බිය පැතිර ගියේය.

දෙවන සිද්ධිය මීට වඩා භයානකය. කොටුවේ සිට වව්නියාව දක්වා ධාවනය වන ශීඝ්‍රගාමී දුම්රිය තලාව හා සාවස්තිපුර දුම්රිය ස්ථාන අතරතුර දී කිසියම් දෙයක ගැටී ඇත. පසුව දුම්රිය නවතා කළ සෝදිසියේ දී පැහැදිලි වී ඇත්තේ දුම්රිය මාර්ගය හරහා අඩි දොළහක් පමණ දිග රේල් පීල්ලක් දමා ඇති බව ය. එය එන්ජිමෙහි ගැටී මීටර් 500 ක් පමණ ඇදී ගොස් ඇත. රියදුරා තිරිංග ක්‍රියාත්මක කොට දුම්රිය නවත්වාගෙන තිබේ. එසේ නො වන්නට දුම්රිය බරපතළ අනතුරකට ලක්වීමට ඉඩ තිබිණි. මෙය හිතාමතාම සැලැසුම් සහගතව කිසිවකු විසින් කරන ලද්දකි. මෙබඳු අපරාධකාරයන්ට නීතියෙන් කිසිදු සමාවක් නොලැබිය යුතුය.

මේ සිද්ධි දෙකෙන් ම පැහැදිලි වන ප්‍රධාන සාධකයක් වන්නේ නැවත ජාතීන් අතර අසමගියක් හා කලහයක් ඇති කිරීමට අවශ්‍ය සමාජ කණ්ඩායමක් අප අතරම සිටින බව ය. බෝම්බ සිද්ධිය ද එහි එක්තරා දිගුවක් විය හැකි ය. දුම්රිය අනතුරට ලක්කිරීමේ මුවාවෙන් සිදුකළ මාර්ග බාධකය ද එහි තවත් දිගුවක් විය හැකිය. සාමකාමී සමාජ කණ්ඩායම් ඉතා පරීක්ෂාකාරීව හා ඉවසීමෙන් ද යුතුව නොසිටිය හොත් යළිත් ජාතිවාදී හා ආගම්වාදී අරගල ඇති විය හැකි ය. අනවශ්‍ය භීතිකාවක් ද රට පුරා ප්‍රචලිත වන්නට පුළුවන. මේවා මැඬපැවැත්වීම වහාම සිදුවිය යුතු ය.

කොළඹ කොටුව දුම්රිය ස්ථානයේ සිද්ධියේ දී කිසිවකුටත් දොස් පැවැරිය නො හැකි ය. බෝම්බයක් ඉදිරියේ බොහෝදෙනා කලබල වෙති. බෝම්බ පිළිබඳ අත්දැකීම් අපේ පුරවැසියාට තිබීම ද ඊට එක් හේතුවකි. ගිනිපෙනෙල්ලෙන් බැට කෑ එකා කණාමැදිරියාටත් බයලු! යන කතාව අප සිහියට නැගේ. දුම්රිය ප්‍රමාදය, මගීන් විඳි අපහසුව යන සියල්ල ඒ ඉදිරියේ ලඝු බවට පත්වනු ඇත. එලෙස ම මෙබඳු සිද්ධියක් අබියස දී අනවශ්‍ය ලෙස කලබල වීම ද සිදු නොවිය යුතු ය. අනවශ්‍ය ලෙස බැණවැදීම් ද නොසිදු විය යුතු ය. ප්‍රමාදයට වඩා ජීවිතය වැදගත් බව හැමකෙනෙකුටම අවබෝධ විය යුතුය. ඒ හැරෙන්නට මෙබඳු සිදුවීම් ඉතිහාසය තුළ ඕනෑතරම් සිදුවී තිබේ.

අපගේ විශේෂ අවධානය යොමු විය යුතු කාරණය වන්නේ වව්නියාව ශීඝ්‍රගාමී දුම්රියට මාර්ග බාධකයක් දැම්මේ කවුද යන්න ය. එම බාධකය පනවා ඇත්තේම දුම්රියට අනතුරක් සිදුකිරීමේ අපේක්ෂාවෙන්ය. උතුරු දුම්රිය මාර්ගය පිළිසකර කිරීම ගැනත් එහි දුම්රිය ධාවනය ගැනත් විරුද්ධ වූ පිරිසක් සිටියෝය. ඔවුන් මේ මාර්ගය විවෘත කරන විටද විරෝධය දැක් වූ බවක් අපට මතක ය. උතුර - දකුණ යා කරන මේ දුම්රිය මාර්ගය සාමයේ පාලමක් ලෙස ද සැලැකිණි. ඊට එරෙහි විය හැක්කේ ජාතිවාදීන්ට හා ආගම්වාදීන්ට පමණී. ජාතිවාදීන් මෙන්ම ආගම්වාදීන්ද ‍දකුණට මෙන් ම උතුරට ද පොදු ලක්ෂණයකි. අප මේ දෙපැත්තේ ම අන්තවාදීන් පරාජය කරන තැනක සිට ගත යුතු ය.

මේ සිද්ධියත් සමඟ සැලැකිල්ලට ගත යුතු තවත් කරුණු කිහිපයක් තිබේ. එක; මේ මාර්ගයේ දුම්රිය පීලි හා සිල්බර කොට ද, එහි ඇණ මුරිච්චි ආදිය ද පරීක්ෂාවට ලක්කරන නිලධාරින් නැති ද යන්න ය. අනෙක් අතට මාර්ග ආරක්ෂාව හා දුම්රිය ආරක්ෂාව සඳහා ‍යොදා ඇති ආරක්ෂක භට හමුදාවක් මේ මාර්ග බාධකය නොදුටුවේ මන්ද යන්නය. අඩි දොළහක් දිග රේල් පීල්ලක් දුම්රිය මාර්ගයට ගෙනැවිත් දැමීම සුළුපටු කාරණයක් නො වේ. ඒ සඳහා පිරිස් බලය තිබිය යුතු ය. කාලය තිබිය යුතු ය. තවත් පහසුකම් තිබිය යුතු ය. ඒවා සංවිධානාත්මක විය යුතු ය. මේවා ආරක්ෂක අංශවලට හසු නොවීම එක අතෙකින් පුදුමයෙකි.

දුම්රිය දෙපාර්තමේන්තුවද දුවන්නේ විවිධ ප්‍රශ්නකාරී තත්ත්වයන් යටතේ ය. සේවක ප්‍රශ්න, ආදායම් පිළිබඳ ප්‍රශ්න හා මහජනයාගේ ලැබෙන විචේචන ද එම පසුබිම තුළ වඩාත් ඉස්මතු වී පෙනෙයි. ඇතැම් සේවකයන් සිය රාජකාරී කරගෙන යනු ලබන්නේ ආයතනය ගැන උපන් වෛරයක් ද සමඟය. මෙහි දී ආයතනය යන්නෙන් සැලැකිල්ලට ගැනෙන්නේ එහි ඉහළ කළමනාකාරිත්වය ය. කළමනාකාරිත්වය භංගවේවා කියන තැනෙක දුම්රිය සේවකයෝ සිටිති. එය ඒ තරම්ම හොඳ තත්ත්වයක් නො වේ. එක අතෙකින් කළමනාකාරිත්වයේ නොදැනුවත්භාවය ඉන් ප්‍රකට වේ. තව අතෙකින් ඔවුන්ගේ උපාය මාර්ග අන්තිම අසාර්ථක බව ද ඉන් ප්‍රකට වේ.

දුම්රිය ධාවනයට අදාළව ඇති වූ මේ සිද්ධි දෙකෙන් පාඩම් ගණනාවක් උගත යුතු ය. එක; කිසියම් සැකයක් අවිශ්වාසයක් ඉදිරියේ අපේ පුරවැසියා කලබලයකින් හා තැතිගැන්මකින් තොරව ක්‍රියාත්මක විය යුතු බව ය. දෙක; දුම්රිය ධාවනයේ දී මාර්ගය ගැන දැඩි අවධානයකින් පසුවිය යුතු බව ය. එබඳු පරීක්ෂාවක් තිබුණහොත් කිසිවකුටත් බිය විය යුතු නැත.


නව අදහස දක්වන්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.

Or log in with...