දහදිය හෙළන්නන්ගේ නිර්මාණ පෙළහර | දිනමිණ

දහදිය හෙළන්නන්ගේ නිර්මාණ පෙළහර

 කලාව හා දේශපාලනය අතර අනවරත සබඳතාවක් පවතින බව ලෝ ප්‍රකට කලාකරුවන් වගේ ම දේශපාලනඥයනුත් පවසා තිබෙනවා. නොබෙල් ත්‍යාගලාභී නයිජීරියානු ලේඛක චිනුවා ඇචිබේ වරක කළ ප්‍රකාශයක් මට මතක් වුණා. අරමුණක් වශයෙන් ගත් විට දේශපාලනඥයාගේ හා ලේඛකයාගේ පරමාර්ථය යහපත් සමාජයක් ගොඩනැඟීමට දායකවීමයි. එහෙත් ඔවුන් දෙදෙනා මේ අරමුණ ජයගැනීම සඳහා භාවිත කරන උපාය මාර්ග ‍එකිනෙකට හාතපසින් වෙනස් ය.

ඇචිබේගේ මේ කියමන ප්‍රායෝගිකව අත්හදා බලන්න දරපු උත්සාහක් පසුගිය 20 වැනි දා මරදානේ ටවර් රඟහලේ දී දක්නට ලැබුණා. මේ උත්සවය නම් කර තිබුණේ ‘දහදිය සිත්තම’ ලෙසයි. ‘වැඩකරන ජනතා කලා උළෙල 2016’ යනුවෙන් උපසිරසකින් හැඳින් වූ මේ කලා උළෙල සංවිධානය කර තිබුණේ ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානයට අනුබද්ධ සාහිත්‍ය අනුකමිටුවයි. ආරම්භයේ පටන් ම ‘දහදිය සිත්තම’ කලා උළෙලේ දක්නට ලැබුණු සුවිශේෂ ලක්ෂණයක් වුණේ සිංහල - දෙමළ මාධ්‍ය දෙකෙන් ම සාහිත්‍ය කලා නිර්මාණ ඇගයීමට ලක් කිරීමට දරා තිබූ උත්සාහය බවත් මෙහි දී අවධාරණය කරන්න ඕනා.

වැඩ කරන ජනතාව සංවිධානය කරන හෝ වැඩ කරන ජනතාවගේ කුසලතා අගයන ඕනෑම ව්‍යාපාරයකින් සිදු විය යුතු මූලිකම කාර්යභාරය තමා ජාති, ආගම්, කුල හා වර්ණ බේද පිළිකෙව් කිරීම. ඒ වගේ ම තමා අවිද්‍යාව හා මිථ්‍යාව පිටුදැකීම. ඉර හඳ තාරකා දිහා බලාගෙන සුසුම් හෙළන, ගස් ගල්වලට වන්දනාමාන කරන පසුගාමී මිනිසුන් සහිත සමාජයකට කවරදාවත් ලෝකය දිනන්න බැහැ. මන්දයත් ඔවුන්ට තමන් පිළිබඳව කිසිම ආත්ම විශ්වාසයක් නැති නිසයි.

ඉතින් මෙහෙම පසුබිමක, සීමාසහිතකම් ඇතුව වුවත් ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානයේ සාහිත්‍ය අනුකමිටුව සංවිධානය කළ ‘දහදිය සිත්තම’ කලා උලෙළ අව්‍යාජ ජාතික එකමුතුකමක් හා ප්‍රබුද්ධ සමාජ විඥානයක් ප්‍රාර්ථනා කරන පුරවැසියන්ගේ ඇගයීමට ලක් විය යුතුය කියා මා සිතනවා. රජයේ මෙන් ම පෞද්ගලික අංශයෙත් විවිධ වෘත්තීන්හි නිරතව සිටින දහදහස් ගණනක වෘත්තිකයන්ට, වෘත්තියේ හෝ ශ්‍රේණියේ බේද නොසලකා සමාන මට්ටමින් තරග වැදීමට වේදිකාවක් සකස් කර තිබීමත් මේ උළෙලේ කැපී පෙනෙන ලක්ෂණයක්. ඒ අනුව එකම රෝහලේ වෛද්‍යවරයා වගේම උපස්ථාදායකයකු නැතිනම් කම්කරුවකුත් එකම තරගය සඳහා ඉදිරිපත්වී සිටිනු දක්නට ලැබුණා. කවිය, කෙටිකතාව වැනි සාහිත්‍යාංගවල සිට ගීතය, කෙටි නාට්‍ය, චිත්‍ර හා පෝස්ටර් වැනි මාධ්‍යයන් දක්වා පුළුල් පරාසයක සාහිත්‍ය කලාංග සඳහා මේ තරගය විවෘත කර තිබීම නිසා සිංහල, දෙමළ හා මුස්ලිම් ආදි ප්‍රධාන ජනවාර්ගික කොටස්වලට අයත් තරගකරුවන් රැසකට සිය කුසලතා උරගා බැලීමට අවකාශ සැලසී තිබුණා.

ටවර්හෝල් රඟහලෙහි රොදබැඳ සිටි මෙරට රාජ්‍ය හා පෞද්ගලික අංශයේ වෘත්තිකයන් සිය ගණනක් අමතා ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානයේ සභාපති කේ. ඩී. ලාල්කාන්ත කළ දේශනය පිළිබඳවත් අදහසක් පළකළ යුතුයි. මොකද මීට පෙර අවස්ථා කිහිපයකදීම මේ තීරු ලිපිය මගින් ‘දේශපාලනඥයන්ගේ සාහිත්‍ය දෙසුම්’ අපගේ දැඩි විවේචනයට ලක්වූ නිසයි. ඩොලර් අර්බුදයෙන් දෙසුම පටන් අරන් රටේ ආර්ථික හා දේශපාලන කඩාවැටීම ගැන ඔහු දිගින්දිගට කතා කරනවිට මට සිතුණේ දේශපාලකයකුගේ තවත් හෑල්ලකට සවන්දීමේ වේදනාජනක අත්දැකීම යළිත් අත්විඳින්නට සිදුවනු ඇත කියායි; ලාල්කාන්තට බැට දෙන තවත් කොලමක් ලියන්නටත් සිදුවනු ඇත කියායි. එහෙත් මගේ සිතුවිලි වෙනස් කරමින් දෙසුමේ මැදභාගය වනවිට සාහිත්‍ය කලාවන් හා දේශපාලනය අතර පවතින එකමුතුකම මෙන්ම ගැටුම පිළිබඳවත් බොහොම සංයමයකින් යුතුව ඔහු කරුණු ඉදිරිපත් කරන්න පටන්ගත්තා.

ලේඛකයන්ද ඇතුළු සමස්ත කලාකරුවන් අතින් ඉටුකළ යුතු කාර්යභාරය දේශපාලන පක්ෂයකට කළ නොහැකි බව ලාල්කාන්ත පෙන්වාදුන්නා. එසේම අසුවල් විදිහට කලාව කරන්නය කියා කලාකරුවන්ට නියෝග නිකුත් කිරීමේ අයිතියක් දේශපාලන පක්ෂයකට නැති බවත් ඔහු අවධාරණයෙන්ම කියා සිටියා. පැහැදිලිවම කලාකරුවාගේ මාර්ගය හා දේශපාලනඥයාගේ මාර්ගය දෙකක් බවත් ඔහු පිළිගත්තා. නමුත් කලාකරුවාට හා දේශපාලනඥයාට එකතුවිය හැකි තැනක් ඉතිහාසය විසින් නිර්මාණය කරනු ලබනවා. එතැනදී කලාකරුවාට තම සෞන්දර්යාත්මක වටිනාකම් රැකගනිමින් සමාජයේ පෙරගමන්කරුවකු ලෙස පෙනී සිටීමට අවස්ථාවක් උදා වෙනවා. සමාජයේ ඉදිරි ගමනට අවංක ලෙස දායක වන දේශපාලකයාට හෝ දේශපාලන පක්ෂයට මෙතැනදී ප්‍රගතිශීලී කලාකරුවන් සමඟ අත්වැල් බැඳගැනීමට අවස්ථාවක් උදා වෙනවා. ලාල්කාන්තගේ දෙසුම සාරාංශ කරගත්විට ලැබෙන උත්තරය එයයි. ලාල්කාන්ත තම දෙසුමේ මුල්භාගය ටිකක් සංස්කරණය කර දෙවැනිභාගයට ප්‍රමුඛස්ථානය දුන්නා ම් එය මෑතභාගයේ දේශපාලනඥයකුගෙන් අසන්න ලැබුණු අර්ථවත් සාහිත්‍ය දෙසුමක් වනු ඇතැයි මට සිතෙනවා. කොහොමවුණත් පසුගිය කාලයේ සාහිත්‍ය වේදිකාවලට අරක්ගෙන තම තමන්ගේ පම්පෝරි දෙසාබාපු දේසපාලුවන්ටනම් ලාල්කාන්තගේ දෙසුමෙන් ඉගෙන ගන්න බොහෝ දේවල් තිබෙන බවක් මතක් කර දෙන්න කැමතියි.

කමල් පෙරේරා
[email protected]

අදහස් 1ක් ඇත

නව අදහස දක්වන්න