නත්තලේ සිදුවුණු අමුතු සිදුවීම්

මංජුලා විජයරත්න

ලෝකයට නත්තල ඉතා වැදගත් දිනයකි. ඒ වැදගත් දිනයේදී නත්තල් සැමරුම්වලට පරිබාහිරව බොහෝ දේ සිදුව ඇති බව ඔබ දන්නවාද? අප මතු දක්වන්නේ, නත්තල් දිනයේ සිදු වුණු එවැනි ඓතිහාසික සිදුවීම් මාලාවකි.

1. 1991 නත්තල් දා සෝවියට් සමුහාණ්ඩුවේ බිඳ වැටීම

සමාජවාදී සෝවියට් ජනරජයේ එක්සත් සංගමය, එහෙමත් නැත්නම් සෝවියට් සංගමය ගැන ඔබ කොතෙකුත් අසා ඇත. ආසියාවට සහ යුරෝපයට අයත් රාජ්‍යය සෑහෙන සංඛ්‍යාවකින් සමන්විතව සැකසුණුසෝවියට් සංගමය, පෘථිවිය මත පැවැති බලවත්ම සංවිධානයක්, නැත්නම් රාජ්‍යයක් හැටියට හඳුන්වන්නට පුළුවන. 1922 වසරේදී ස්ථාපිත සෝවියට් සංගමය, අවසානයේදී බිඳ වැටිණ.

මේ බිඳ වැටීම සිදුවුණේ 1991 වසරේදී ය. බිඳ වැටීමට මුල් වුණේ, සෝවියට් සංගමයේ නායක මිහායිල් ගොර්බචෝෆ්ගේ ප්‍රතිසංස්කරණවාදී පිළිවෙත ය. ගොර්බචෝෆ්ගේ ප්‍රතිසංස්කරණ ව්‍යාපාරය දුර්වල මට්ටමකට වැටුණෙන්, සෝවියට් සංගමය එකාබද්ධව පවත්වාගෙන යාම තව දුරටත් දුෂ්කර විය.

මේ තත්ත්වය තුළ 1991 වසරේ දෙසැම්බර් 8 වැනිදා සිට ම සෝවියට් සංගමය බිඳ වැටීමේ ලකුණු ඉතාමත් පැහැදිලි ලෙස සනිටුහන් වන්නට විය. එහි ප්‍රතිඵලයක් ලෙස රුසියා, බෙලරුසියා සහ යුක්රේන නායකයෝ නව පොදු රාජ්‍යය මණ්ඩලයක් ස්ථාපනය කිරීමට තීරණය කළහ. සෝවියට් සංගමයට අයත් තවත් රාජ්‍යය 8ක්, නව සංවිධානයට එක්වන බව 1991 දෙසැම්බර් 21වැනිදා ප්‍රකාශයට පත් කෙරිණි. මිහායිල් ගොර්බචෝෆ්ට තමන්ගේ පාලනය තව දුරටත් පවත්වාගෙන යාමට නොහැකි විණ. 1991 වසරේ නත්තල් දා ඔහු සිය ධූරයෙන් ඉල්ලා අස් විය. සෝවියට් සංගමයේ දියවී යාම, ඒ සමඟ, එදිනම සටහන් විණ.

2. 1990 නත්තල් දා අන්තර්ජාලයේ පළමු පරීක්ෂණ ධාවනය

අන්තර්ජාල පහසුකම නූතන මිනිසාට නැතිවම බැරි මෙවලමක් බවට පත්ව තිබේ. ඒ වුණත්, 1990 පමණ වනතුරු අපට අන්තර්ජාලය සමඟ ගනුදෙනු කිරීමේ පහසුකම උදා වී නොතිබිණ. එහෙත්, ඒ වන විටත් අන්තර්ජාලය විවිධ ස්වරූපවලින් , යම් යම් ආයතන අතර ක්‍රියාත්මක වෙමින් පැවැතිණි. අන්තර්ජාලයේ පරීක්ෂණ මට්ටමේ පළමු ධාවනය (Test run) හරියටම සිදුව තිබෙන්නේ 1990 වසරේ නත්තල් දිනයේදී බව කියැවේ.

3. 1989 නත්තල් දා චවුෂෙස්කෝ ඝාතනය

නිකොලායි චවුෂෙස්කෝ රුමේනියාවේ පළමු ජනාධිපතිවරයා ය. ඒ වගේම එරට අවසන් කොමියුනිස්ට් නායකයා වන්නේ ද හෙතෙම ය. ඔහු 1974 වසරේ මාර්තු මාසයේ සිට 1989 වසරේ දෙසැම්බර් 22 වැනිදා දක්වා රුමේනියාව පාලනය කළ බව දැක්වේ. කොමියුනිස්ට් ආචාර ධර්මවලට නැඹුරු පාලන රටාවක් ගෙන ගිය ද, කාලයත් සමඟ ඔහුගේ පාලනය මහජනයාට දරුණු පීඩා අත්කර දෙන්නක් බවට පත් විය.

ඒ වනවිට හෙතෙම ඉතා අමානුෂික පාලනයක් ගෙන ගිය බව සටහන් වේ. චවුෂෙස්කෝගේ පාලනයට එරෙහිව සාමාන්‍ය මහජනයා නැගී සිටින්නේ 1989 වසරේ දෙසැම්බරයේදී ය. මේ මහජන උද්ඝෝෂණය මර්දනය කිරීමට චවුෂෙස්කෝ සිය ආරක්ෂක අංශවල බලය උපරිමයෙන් යෙදවූයේ අනුකම්පා විරහිතව ය. එහි ප්‍රතිඵලයක් හැටියට බොහෝ පිරිසක් තුවාල ලබා, තවත් පිරිසක් මරුමුවට පත් වූහ. ආරක්ෂක අංශවල මර්දන උපරිම මට්ටමක පැවැතියේ 1989 වසරේ දෙසැම්බර් 17 වැනිදා වන විටදී ය. පසුව රුමේනියාවේ බලය ආරක්ෂක අංශ අතට පත්වෙමින් පැවැතිණ.

අයථා ලෙස ධනය රැස් කිරීම, සමූල ඝාතන කිරීම සහ තවත් චෝදනා රැසකට චවුෂෙස්කෝට සහ බිරියට එරෙහිව චෝදනා නඟන්නට හමුදා පාලකයෝ ඒ වහාම අමතක නොකළහ. එය, 1989 දෙසැම්බර් 25 වැනිදා පැවැත්වුණු ඉතා කෙටි නඩු ඇසීමක් බව දැක්වේ. නඩු විභාගය අවසානයේදී චවුෂෙස්කෝ සහ බිරිය වරදකරුවන් බව ප්‍රකාශයට පත් විය. ඒ සැණෙකින්ම ඔවුන් දෙදෙනා වෙඩි තබා ඝාතනය කෙරුණු බව දැක්වේ.

4. 1979 නත්තල් දා රුසියානුවන්ගේ ඇෆ්ඝන් ආක්‍රමණය

අද අප ඇෆ්ඝනිස්තානය දකින්නේ ත්‍රස්තවාදී ක්‍රියාවලින් හෙම්බත් වුණු රාජ්‍යයක් හැටියට ය. මේ තත්ත්වය එක්දහස් නවසිය හැත්තෑව දශකයේ අග භාගයේදීත් එහි දැකිය හැකි විය. එවක පැවැතියේ ඇෆ්ඝනිස්ථානය තුළ සෝවියට් සමාජවාදය වැපිරීමට යාමෙන් හටගත් අරගලයකි. මේ අරගලයට පොට පෑදෙන්නේ නූර් මොහොමඩ් තරාකි නමැති දේශපාලනඥයාගේ ප්‍රධානත්වයෙන්, රැඩිකල් ප්‍රතිසංස්කරණ, ඇෆ්ඝනිස්තානයට හඳුන්වාදීමට යාමෙනි. ප්‍රතිසංස්කරණ හඳුන්වා දීම සහමුලින්ම සිදුවුණේ සෝවියට් සංගමයේ අවශ්‍යතාව මත ය.

එනිසා, ඇෆ්ඝනිස්ථානයේ ජනතාව විශාල වශයෙන් පීඩාවට පත්වන්නට විය. රැඩිකල් ප්‍රතිසංස්කරණ මහජනයාගෙන් ප්‍රතික්ෂේප වනවිට, නූර් මොහොමඩ්ව ඝාතනය කෙරිණ. එනිසා සෝවියට් බලධාරීන්ගේ කෝපය දෙගුණ තෙගුණ විය. දෙරට අතර යුද වාතාවරණයක් හටගත්තේ එහි ප්‍රතිඵලයක් හැටියට ය.

1979 දෙසැම්බර් 24 වැනිදා සෝවියට් හමුදා ඇෆ්ගනිස්ථානයේ කාබුල් නුවරට ඇතුළු විය. 1979 වසරේ නත්තල් දා රුසියානුවන්ගේ ඇෆ්ඝනිස්ථාන ආක්‍රමණය සාර්ථක විණි. රුසියානුවන් මේ ආක්‍රමණයට නත්තල් දාම තෝරා ගත්තේ අනෙකක් නිසා නොව, ආක්‍රමණය කෙරෙහි ලෝක අවධානය අවම කර ගැනීමේ අරමුණෙනි.

5. 1977 නත්තල් දා චාර්ලි චැප්ලින්ගේ සමුගැන්ම

හාස්‍ය උත්පාදක නළුවකු, චිත්‍රපටකරුවකු සහ රචකයකු වන චාර්ල්ස් ස්පෙන්සර් චාර්ලි චැප්ලින්, නැත්නම් අප කවුරුත් දන්නා චාර්ලි චැප්ලින් මරණයට පත් වූයේ 1977 දෙසැම්බර් 25 වැනිදා ය.

අධික දරීද්‍රතාවයෙන් ද, දුක් කම්කටොලුවලින් ද ගහන ළමා කාලයක් ගත කළ චාර්ලි චැප්ලින්, ලාබාල අවධියේම සංගීත ශාලාවල නොයෙක් ඉදිරිපත් කිරීම් සඳහා නැඹුරු විය. ඒ අනෙකක් නිසා නොව, මුදල් හිඟකම නිසා ම ය. ඔහු සංගීත ශාලාවල වේදිකාවට මේ අන්දමට ගොඩවන විට, ඔහුගේ මව සිටියේ බලවත් ලෙස රෝගාතුරුව ය. එතැනින් එලෙස ඇරැඹි ගමන නැවතුණේ, ඔහුට වයස අවුරුදු 88ක් පිරෙන විටදී ය. ඒ වනවිට ඔහු සිනමා කර්මාන්තය තුළ සුවිශේෂ මිනිසකු බවට පත්ව සිටියේ ය.

6. 1968 නත්තල් දා මිනිසුන් රැගත් යානයක් චන්ද්‍ර කක්ෂයට

1969 වසරේ ජූලි 21 වැනිදා මිනිසා සඳ මත පා තැබූවේ හුදෙක් එක්වරම නොව, වසර ගණනාවක් පුරා කළ දීර්ඝ කාලීන සහ සැලසුම් සහගත ක්‍රියාවලියක ප්‍රතිඵලයක් හැටියට ය. මේ ක්‍රියාවලියේ වැදගත් සන්ධිස්ථාන ඕනෑ තරම් තිබිණ. ඒ අතර වඩාත්ම කැපී පෙනෙන සිද්ධිය වන්නේ, ඇපලෝ - 8 යානය ගගනගාමීන් ද සහිතව චන්ද්‍ර කක්ෂයට අතුළු වීම ය. මේ ඉලක්කය සපුරා ගන්නට ඇපලෝ - 8 යානය පෘථිවියෙන් පිටත් වුණේ 1968 දෙසැම්බර් 21 වැනිදා ය.

යානය, චන්ද්‍ර කක්ෂයට ඇතුළු වුණේ ,1968 දෙසැම්බර් මස 25 වැනිදා.

7. 1926 නත්තල් දා යොෂිහිතෝ අධිරාජයාගේ අභාවය

ජපානයේ 123 වැනි අධිරාජයා හැටියට හැඳින්වෙන්නේ යොෂිහිතෝ අධිරාජයා ය. 1912 වසරේ ජූලි 30 වැනිදා ජපානයේ අධිරාජයා ලෙස පත්වුණු යොෂිහිතෝ කුමරු, එයින් දාහතර වසරකට පසු, එනම් 1926 වසරේදී හදිසියේම ජීවිතක්ෂයට පත් විය. ජීවිතක්ෂයට පත් වනවිට යොෂිහිතෝ අධිරාජයා පසු වුණේ 47 වැනි වියෙහි බව දැක්වේ. ඒ වසරේ දෙසැම්බර් මාසයේ මුල භාගයේ සිට නියුමෝනියා රෝගයෙන් පෙළුණු යොෂිහිතෝ අධිරාජයා, දෙසැම්බර් 25 වැනිදා මධ්‍යම රාත්‍රිය වන විට හදිසියේම වාගේ හෘදයාබාධයකට ද ගොදුරු විය. හෘදයාබාධයත් සමඟම යොෂිහිතෝ අධිරාජයා අවසන් හුස්ම හෙලූ බව වාර්තා විය.

ජපානයේ වත්මන් අකිහිතෝ අධිරාජයා, හිරෝහිතෝ අධිරාජයාගේ වැඩිමහල් පුත්‍රයා ය.

8. 1914 නත්තල් දා පළමු ලෝක යුද බිමට සටන් විරාමයක්

පළමු ලෝක යුද්ධය ඇරැඹුණේ 1914 වසරේ ජූලි මාසයේ 28 වැනිදා ය. ලෝක යුද්ධය ඇරැඹීමෙන් මාස පහකට පමණ පසුව, ඒ වසරේ නත්තල උදා විය. නත්තල් දින සැමරුම් සඳහා සටන් විරාම කාලයක් ප්‍රකාශයට පත් කෙරිණ. එකී සටන් විරාම සමයේදී සොල්දාදුවන් කැරොල් ගයමින්, නර්තනයේ යෙදෙමින්, ත්‍යාග හුවමාරු කර ගනිමින් සහ නොයෙක් විධ ක්‍රීඩාවල යෙදෙමින්, සතුරු - මිතුරු බේදයක් නැතිව විනෝද වුණු බව දැක්වේ.

පළමු ලෝක යුද්ධය අවසන් වුණේ, 1918 වසරේ නොවැම්බරයේදී ය. පළමු ලෝක යුද්ධය ඇරැඹි පළමු වසරේ, නත්තලේ එළැඹි සටන් විරාමය බඳු සටන් විරාම, ඉන් පසු වර්ෂවල නත්තල්වලදී ලෝක යුද්ධ පිටියේ දක්නට ලැබුණේ නැත. 1914 වසරේ නත්තලේදී පළමු ලෝක යුද්ධ බිමේ ප්‍රකාශයට පත් කෙරුණු සටන් විරාමය, 19 වැනි සියවසේ සටන් බිමක දක්නට ලැබුණු සුවිශේෂම අවස්ථාවක් සේ සැලකේ.

9. 1642 නත්තල් දා නිව්ටන්ගේ උපත

මේ මහා විද්‍යාඥයා උපත ලබා තිබෙන්නේ ද දෙසැම්බර් විසිපස් වැනිදා දිනකය. ඒ, 1642 වසරේ දෙසැම්බර් 25 වැනිදා ය.

අයිසැක් නිව්ටන් ඉපදෙන්නට මාස තුනකට පමණ පෙර , ඔහුගේ පියා මිය ගිය බව දැක්වේ. නිව්ටන් ඉපදුනේ නොවැඩුණු දරුවකු හැටියට ය. නිව්ටන්ගේ මව වරක් පවසා තිබුණේ, නිව්ටන් පුංචි ජෝගුවක වුව පහසුවෙන් දැමිය හැකි තරම් කුඩා දරුවකු බවයි. නිව්ටන්ට අවුරුදු තුනක් වනවිට මව නැවත විවාහ වූයේ, නිව්ටන් මිත්තණියට බාර කරමිනි. නිව්ටන් මවගේ මේ විවාහය ගැන ඉතාමත් කලකිරී ජීවත් වුණු බව වාර්තාවල දැක්වේ.

10. 1776 නත්තල් දා ජෝර්ජ් වොෂින්ටන්ගේ ඩෙල්වෙයාර් ගං තරණය

1789 – 1797 අතර කාලපරිච්ඡේදය තුළදී අමෙරිකා එක්සත් ජනපදයේ ජනාධිපති ධුරයට පත් ජෝර්ජ් වොෂිංටන් සැලකෙන්නේ, එරට පළමු ජනාධිපතිවරයා හැටියට ය. ජනාධිපති ධුරයට පත්වන්නට පළමුව හෙතෙම, හමුදා නිලධාරියෙක් හැටියට කටයුතු කළේ ය. අමෙරිකා විප්ලවයෙහිදී හෙතෙම හමුදා ජෙනරාල්වරයකු ලෙස කැපී පෙනෙන මෙහෙවරක් ඉටු කළ බව දැක්වේ. ඒ අතර වඩාත් සුවිශේෂම සිද්ධිය ලෙස දැක්වෙන්නේ, විප්ලවය අතරතුර එළැඹී එක් ශීත ඍතුවක මැද භාගයේ පැවැති දරුණු කාලගුණ තත්ත්වය ද නොසලකා හැර, හෙතෙම ඩෙලවෙයාර් ගංගාව තරණය කිරීම ය.

ජෝර්ජ් වොෂිංටන් මේ වික්‍රමය කළේ 5400ක පමණ හමුදා සේනාවක් ද රැගෙන ය. ජෝර්ජ් වොෂිංටන් ඩෙල්වෙයාර් ගඟ තරණය කරන විට, අමෙරිකා භට පිරිස්වලට එරෙහිව සටන් වැදුණු බ්‍රිතාන්‍ය හමුදාවෝ, නත්තල් සමරුම්වලට එක්ව සිටියහ.

ශීත ඍතුවේ නැගී තිබුණු අයහපත් කාලගුණ තත්ත්ව නොසලකා හරිමින්, පසු දිනට පහන්වන්නට පළමුව ජෝර්ජ් වොෂිංටන් නිව් ජර්සි වෙත ළඟා විය. ඒ වනවිට බ්‍රිතාන්‍ය හමුදා සාමාජිකයන් සිටියේ, පෙරදා නත්තල් සාදයට සහභාගී වී, බමන මතෙනි. එනිසා බ්‍රිතාන්‍ය හමුදාවට අන්ත පරාජයක් අත් විය.

ජෝර්ජ් වොෂිංටන් 1776 වසරෙහි නත්තල් දා ඩෙල්වෙයාර් ගඟ තරණය කිරීම මේ නිසා අමෙරිකා ඉතිහාසය උඩුයටිකුරු කළ සිදුවීමක් විය.

අන්තර්ජාලය ඇසුරෙනි

 


අදහස් 1ක් ඇත

samahara wita wisesa natthal , wikkramada wiya hakiya !

පිටු

නව අදහස දක්වන්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
3 + 8 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.

Or log in with...