රවිරාජ් ඝාතනයේ විත්තිකරුවෝ 5 දෙනාම නිවැරැදිකරුවෝ | දිනමිණ

රවිරාජ් ඝාතනයේ විත්තිකරුවෝ 5 දෙනාම නිවැරැදිකරුවෝ

කුමුදු හෙට්ටිආරච්චි

 

ජූරි සභාව ඒකමතිකව තීරණය කරයි

පාර්ලිමේන්තු මන්ත්‍රී නඩරාජා රවිරාජ් මහතා හා ඔහුගේ ආරක්ෂක නිලධාරියාට වෙඩි තබා ඝාතනය කිරීම සම්බන්ධව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ හා දණ්ඩ නීති සංග්‍රහය යටතේ විත්තිකරුවන් පස්දෙනාට එරෙහිව නීතිපතිවරයා නගා තිබූ සියලුම අධිචෝදනාවන්ට ඔවුන් නිවැරැදිකරුවන් බව මෙම නඩුව විභාගයට ගත් විශේෂ ජූරි සභාව ඒකමතිකව තීරණය කළේය.

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අධිචෝදනා තුනක් හා දණ්ඩ නීති සංග්‍රහයේ 296 වගන්තිය යටතේ අධි චෝදනා දෙකක් මත නීතිපතිවරයා විසින් විත්තිකරුවනට එරෙහිව අධි චෝදනා නගා තිබුණි.

සිවකාන්තන් විවේකානන්දන් නොහොත් චතුරන්, ෆේඩියන් රෙසිස්ටන් හා නාවික හමුදාවේ බුද්ධි අංශයේ නිලධාරින් වන හෙට්ටිආරච්චි මුදියන්සේලාගේ ප්‍රසාද් චන්දන කුමාර, දැලිවල ගෙදර ගාමිණී සෙනෙවිරත්න හා කම්කානම්ලාගේ ප්‍රදීප් චාමින්ද යන විත්තිකරුවන් විශේෂ ජූරි සභාවේ ඒකමතික තීරණය මත එසේ නිදොස් කොට නිදහස් කෙරුණි.

මුල් අවස්ථාවේ දී නීතිපතිවරයා විසින් විත්තිකරුවන් හයදෙනකුට එරෙහිව අධිචෝදනා නගාතිබුණද පලනසාමි සුරේෂ් නොහොත් සාමි මියගොස් ඇති බවට අධිකරණය හමුවේ සාක්කි මෙහෙයවීමෙන් පසු ඔහු නොමැතිව අනෙක් විත්තිකරුවන් පස්දෙනාට එරෙහිව මෙම නඩුව විභාග කෙරුණි.

එම විත්තිකරුවන් පස්දෙනාගෙන්ද සිවකාන්තන් විවේකානන්දන් නොහොත් චතුරන් හා ෆේඩියන් රෙසිස්ටන් යන විත්තිකරුවන් දෙදෙනා විදේශගතව ඇති හෙයින් ඔවුන්ද නොමැතිව නාවික හමුදා නිලධාරින් තිදෙනා පමණක් නඩු විභාගය සඳහා අධිකරණය හමුවේ පෙනී සිටියේය.

නඩුව ආරම්භ වූ මුල් අවස්ථා කිහිපයක දී විදේශගතව සිටින බව කියන විත්තිකරුවන් දෙදෙනා වෙනුවෙන් නීතිඥවරුන් අධිකරණය හමුවේ පෙනී සිටියේය.

එසේ වූවද නඩුව දිනපතා විභාගයට ගැනීමට තීරණය කළ පසු එම විත්තිකරුවන් වෙනුවෙන් කිසිදු නීතිඥවරයකු අධිකරණය හමුවේ පෙනී නොසිටියේය.

අධිකරණය හමුවේ පෙනී සිටින විත්තිකාර හිටපු නාවික හමුදා නිලධාරින් තිදෙනාට ඇප ගැනීම සඳහා ඔවුන්ගේ නීතිඥවරුන් අධිකරණය හමුවේ ඉල්ලීමක් කර තිබුණි.

එම ඉල්ලීම අධිකරණය සලකා බලමින් සිටිය දී නීතිපතිවරයා විසින් විත්තිකරුවනට එරෙහිව අධිචෝදනා ගොනු කරන ලදී.

අධි චෝදනා පහක් යටතේ පැවරූ මෙම නඩුවේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ විත්තිකරුවනට එරෙහිව චෝදනා එල්ල වී ඇති බව සඳහන් කළ නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ‍ජනරාල් රොහන්ත අබේසූරිය මහතා ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ යම් විත්තිකරුවකු චෝදනා ලබයි නම් ඔහු අනිවාර්යෙන් නඩු කටයුතු අවසන් වන තෙක් බන්ධනාගාරගතව සිටිය යුතු බවට නීති කෘතියක් ගෙනහැරපාමින් අධිකරණය දැනුවත් කර සිටියේය.

ඒ අනුව කරුණු සලකා බැලූ කොළඹ ප්‍රධාන මහාධිකරණ විනිසුරු මනිලාල් වෛද්‍යතිලක මහතා එම විත්තිකරුවන් තිදෙනා නඩු කටයුතු අවසන් වන තෙක් රක්ෂිත බාරයේ රඳවා තැබීමට නියෝග කළේය.

නඩුව විභාගයට ගැනීම සඳහා විශේෂ ජූරි සභාවක් අවශ්‍ය බව විත්තියෙන් ඒ අතර ඉල්ලීමක් කළේය.

ඒ සඳහා අවසර දුන් ප්‍රධාන මහාධිකරණ විනිසුරු මනිලාල් වෛද්‍යතිලක මහතා ලංකා ඉතිහාසයේ ප්‍රථම වතාවට නඩු විභාගයක් සඳහා විශේෂ ජුරි සභාවක් පත්කිරීමට තීරණය කළේය.

ඒ අනුව අවම සුදුසුකම වන පිළිගත් විශ්වවිද්‍යාලයක උපාධියක් සහිත ජූරි සභිකයන් හත්දෙනකු තෝරාපත් කර ගැනුණි.

පසුගිය නොවැම්බර් මස 23 වැනිදා මෙම ජූරි සභිකයන් හත්දෙනා තෝරාපත් කර ගත් පසු නඩුවේ විභාග කටයුතුද එදිනම ආරම්භ කෙරුණි.

එදින සිට දිනපතා විභාගයට ගැනුණු මෙම නඩුවේ සියලු සාක්කි විභාගයන් පසුගිය 22 වැනිදා අවසන් කෙරුණි.

අනතුරුව පසුගිය 23 වැනිදා පැමිණිල්ල සඳහා නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් රොහන්ත අබේසූරිය මහතාගේ දේශනවලින් නඩු කටයුතු ආරම්භ කෙරුණු අතර එතැන් සිට විත්තිකරුවන් වෙනුවෙන්ද, අගතියට පත් පාර්ශ්වකරුවන් වෙනුවෙන් හා විනිසුරුවරයාගේ දේශනය එදින රාත්‍රී 11.00 තෙක් පවත්වන ලදී.

කෙටි විවේක කාලයන් තුනක් සහිතව රාත්‍රී 11.00ට නඩුවේ සියලු දේශන පවත්වා අවසානයේ විශේෂ ජූරි සභාවේ තීන්දුව ප්‍රකාශ කිරීම සඳහා සාකච්ඡා කිරීමට කාලයක් ලබාදීමට තීරණය කළ විනිසුරුවරයා නඩු විභාගය මද වේලාවකට කල්තබන ලදි.

ජූරි සභික නිලධාරින් ඔවුන් වෙනුවෙන් පිළියෙළ කර ඇති කොළඹ මහාධිකරණයේ විශේෂ ශාලාව වෙත ගොස් පැය ½ට පසු සිය තීරණය සූදානම් බවට ප්‍රධාන මහාධිකරණ විනිසුරුවරයා දැනුවත් කර සිටියේය.

ප්‍රධාන මහාධිකරණ විනිසුරු මනිලාල් වෛද්‍යතිලක මහතා විසින් අධිකරණ නඩු කටයුතු යළි ආරම්භ කරන ලද අතර අධිකරණය හමුවේ දිවුරුම් දෙමින් අසුන්ගත් විශේෂ ජූරි සභාවේ සභාපති ජූරි සභික මහතා විසින් රාත්‍රී 11.55 ට හුනස්නෙන් නැගිට ප්‍රකාශ කර සිටියේ විත්තිකූඩුවේ සිටින විත්තිකරුවන් තිදෙනා සියලු චෝදනාවන්ට නිවැරැදිකරුවන් බවයි.

අධිකරණය හමුවේ පෙනී නොසිටින විත්තිකරුවන් දෙදෙනා වෙනුවෙන් එම තීරණය වලංගු වන්නේ දැයි විශේෂ ජූරි සභාව අමතමින් ප්‍රධාන මහාධිකරණ විනිසුරු මනිලාල් වෛද්‍යතිලක මහතා විමසා සිටියේය.

එම තීරණය අධිකරණයට දැන්වීමට ජූරියට කෙටි කාලයක් ලබාදීමට තීරණය කළ විනිසුරුවරයා නැවතත් අධිකරණ කටයුතු මදකට කල් තැබීය.

රාත්‍රී 12.20ට යළි අධිකරණ කටයුතු ආරම්භ කළ අවස්ථාවේ විශේෂ ජූරි සභාවේ සභාපති ජූරි සභික මහතා දන්වා සිටියේ විත්තිකරුවන් සියලුමදෙනාම නිවැරැදිකරුවන් බවයි.

විශේෂ ජූරි සභාවේ එම තීරණය මත විත්තිකරුවන් පස්දෙනාම නිදොස් කොට නිදහස් කිරීමට අලුයම 12.25ට ප්‍රධාන මහාධිකරණ විනිසුරු මනිලාල් වෛද්‍යතිලක මහතා නියෝග කළේය.

2006 නොවැම්බර් මස 10 වැනිදා කොළඹ දී පාර්ලිමේන්තු මන්ත්‍රී නඩරාජා රවිරාජ් මහතා හා ඔහුගේ ආරක්ෂාවට සිටි පොලිස් නිලධාරියා වන ලොකුවැල්ල මුරගේ ලක්ෂ්මන් යන අයට වෙඩි තබා ඝාතනය කිරීම, ඒ සඳහා අනුබලදීම, කුමන්ත්‍රණය කිරීම ඇතුළු අධිචෝදනා පහක් මත නීතිපතිවරයා විත්තිකරුවන්ට එරෙහිව මෙම නඩුව පවරා තිබුණි.

විත්තිකරුවන් වෙනුවෙන් අනූජ ප්‍රේමරත්න, රසික බාලසූරිය, අසිත් සිරිවර්ධන යන මහත්වරු ප්‍රමුඛ නීතිඥ මඩුල්ලක් පෙනී සිටියහ.

රජයේ නීතිඥ විරාජ් නානායක්කාර මහතා සහ ජ්‍යෙෂ්ඨ රජයේ නීතිඥ සුහර්ෂී හේරත් ජයවීර මහත්මිය සමඟ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් රොහාන්ත අබේසූරිය මහතා පැමිණිල්ලේ සාක්කි මෙහෙයවිය. 

අදහස් 1ක් ඇත

"එතකොට දැන් රවිරාජ් එයටම වෙඩි ත්යාගෙන මැරීලද? මේවා මාර අපබ්‍රංස කතානේ! වරදිකාරයෙක් නැති හැබැයි වැරදි දේවල් මනේ වෙන්නේ.

නව අදහස දක්වන්න