මරණය | දිනමිණ

මරණය

'අර ජීවියා මැරිලා'

'ඔව් මට ආරංචියි'

'දැන් ඒක අපිට පාඩුවක් නෙවෙයිද?'

'නැහැ. දැන් ඒ ජීවියාගෙන් අපිට ඒ හැටි වැඩක් නැහැ'

'හොඳටම විශ්වාසද?'

'අනිවාර්යයෙන්ම. ඒක ඒ දවස්වල වැදගත් සිද්ධියක් වුණාට දැන් ඒකෙ වැදගත්කම ගිහින්'

'මං හිතුවේ අපි දිගටම ඒ ජීවියාට ආරක්ෂාව දෙන්න ඕනේ කියල'

'ඔව්. ඒ, ඒ කාලේ. ඒ ජීවියා අවශ්‍ය වුණේ අප විසින් සිදු කළ පරීක්ෂණයක ප්‍රතිඵල විදිහට විශාල ව්‍යසනයක් ඇති වීම වළක්වා ගන්න'

'ඔන්න ඕක තමයි මට නොතේරෙන සිද්ධිය. මේ වගේ තනි ජීවියෙක් කොහොමද ව්‍යසනයක් නතර කළේ. මම හිතන්නේ තව නූලෙන් වැඩේ ගැස්සිලා යනවා කියලා'

'අපිත් බය වුණා. ඒ වෙලාවේ අවදානම් තත්ත්වයක් තිබ්බේ. අපි ලොකු වැරදීමක් කළා මේ පර්යේෂණය එක්ක'

'ඔබ ඒ කාලේ ජීවත් වුණ කෙනෙක්. මට මේ ගැන ටිකක් කියා දෙනවද?'

'මේ ජීව ප්‍රජාව හය වැනි මට්ටමේ ප්‍රාථමිකයි. එහෙත් අපි පළමු මට්ටමේ උසස් තාක්ෂණික දැනුමක් ඔවුන් අතට ලබා දුන්න. විශාල ව්‍යසනයක් කරන්න, කොටින්ම මුළු ජීව ගහණයම වනසන්න ඒ තාක්ෂණයට පුළුවන්'

'මම ඒක දන්නවා. ඒක දෙන කොට අපි එය හරියට හසුරුවන්න ඔවුන්ට අවශ්‍ය බුද්ධිය දුන්නේ නැද්ද?'

'මේක සුහදතාවයට වඩා පර්යේෂණාත්මකව වැදගත් හේතුවකට වෙච්ච ගනුදෙනුවක්. ගනුදෙනුවක් කිව්වට අපි ගත්ත දෙයක් නැහැ. අපි ඔවුන් සමඟ තවම කතා කරලත් නැහැ, මොකද ඒ වගේ දෙයක් දරා ගන්න තරම් ඔවුන් බුද්ධිමය ලෙස මෝරා නැති නිසා. කොටින්ම ඔවුන් දන්නෙත් නැහැ තාක්ෂණය දුන්නේ අපි කියලා. අපි මේ සේරම කළේ ඔවුන්ට නොදැනෙන්න.'

'ඒ කොහොමද?'

'අපි ඔවුන්ගේ පර්යේෂණ සුළුවට වෙනස් කළා. ඒ හරහා ඔවුන් තාක්ෂණය හොයා ගත්තා. සාර්ථක වෙනකම් අපි රහසිගතව ඔවුන්ව ඒ දිහාට අරගෙන ගියා. ඔවුන් හිතන්නේ ඔවුන්ගේ ගවේෂණවලින් වෙච්ච දෙයක් කියලා'

'ඉතින් ඇයි ඒක දුන්නේ?'

'...'

'මොකෝ සද්ද නැත්තේ?'

'දන්නවනේ ඒ කාලේ රිසර්ච් ටීම් එකේ ලොක්ක ගැන. පිස්සු වැඩවලට ප්‍රසිද්ධ කෙනෙක්. මම එයාට කීප පාරක් කිව්වා ඔය තාක්ෂණය දුන්නොත් ඕකුන් මරාගෙන මැරෙනවා කියල. එයාට ඕනේ කළේ ඒ වගේ ජීවින් පිරිසක් මේ වගේ තාක්ෂණයක් එක්ක ගනුදෙනු කරන ආකාරය පරීක්ෂණයට ලක් කරන්න. උන්ගේ ගෝත්‍රික ගැටුමක් මැද්දේ තමා එක පාර්ශ්වයකට ඕක දුන්නේ'

'අපිට එහෙම පාර්ශ්වීය සහයක් දෙන්න බැහැ නේද?'

'චක්‍රාවාට විද්‍යා මණ්ඩපයේ නීති අනුව එහෙම බැහැ. ඒ නිසාම තමයි මම හිතන්නේ ලොක්කට සේවා දිගුවක් නොදුන්නේත්'

'ඉතින් ඒ ජීවීන් මොකද කරගත්තේ'

'හප්පා උන් මාර ප්‍රාථමිකයි. තාක්ශණය දුන්නු ගමන් පටන් ගත්ත ඒකෙන් ප්‍රතිවාදීන්ට ගහන්න. එක ගෝත්‍රයක විශාල ජනපද දෙකක් ඉවරම කළා. ඒ කාලේ අපේ හදිසි බෝඩ් මීටින් එක දිගට. කලාපීය පර්යේෂක කණ්ඩායම හදිසි තත්ත්වයක් ප්‍රකාශ කළා. අපි තීරණ කීපයක්ම ගත්තා'

'ඒ මොනවාද?'

'මුලින්ම අපි මේ සිද්ධියට කෙලින්ම මැදිහත් වෙන්න අවසර ගත්තා. තව දුරටත් පාර්ශ්වවලට වැඩියෙන් සහය නොදී ස්වාධීනව ඉන්න බැහැ, මොකද අපි ඒ වෙද්දී පාර්ශ්වීයව සහය දීලා ප්‍රශ්නය නිර්මාණය කරගෙන'

'ඊට පස්සේ'

'ඊට පස්සේ කළේ කලින් ගෝත්‍රයට සමාන ලෙස බලවත් වෙන්න පුළුවන් තවත් ගෝත්‍රයකට ඒ තාක්ෂණය දීම. එකෙකුට විතරක් දුන්නොත් ඒකා ප්‍රතිවාදීන් වනසාගෙන යද්දී බේරන්න කෙනෙක් නැහැ. දෙන්නෙක් උන්නොත් දෙන්නම අනිකාට බයේ පහර දෙන්නේ නැතුව ඉන්නවා.'

'මාර සැලසුමක්. හරි ගියාද?'

'අපිට ෂුවර් තිබ්බේ නැහැ. අපි තත්ත්වය බොහොම ළඟින්ම මොනිටර් කළා. ටික කාලයක් ගියත් කාරණා අපට ඕනේ තැනට ආවේ නැහැ. ඉතින් අපි බය වුණා අර ප්‍රධාන ගෝත්‍ර දෙක ඇත්තෙන්ම ඒ තාක්ෂණය යොදාගෙන එකිනෙකා නසා ගනීවි කියල. මොකද උන් පිස්සෝ වගේ රහසිගතව ඒ තාක්ෂණය දියුණු කළා. ඒ රහසිගතභාවය දිගටම ගියා නම් මහා යුද්දයකින් කෙළවර වෙන්නේ'

'ඒ පාර?'

'අන්න එතනදියි මේ ජීවියා අපට අවශ්‍ය වුණේ'

'මේ ජීවියා එතරම් බලවත් ද?'

'අයියෝ නැහැ, ඔහු යටතේ තිබ්බේ ඉතා කුඩා කල්ලියක්. එහෙත් අර පෙර කී එක බලවත් ගෝත්‍රයකට බොහොම ආසන්නව උන්නේ. ස්ථානීය වැදගත්කම නිසා අපි මේ ජීවියා මත සැලසුමක් හැදුවා. අපි මුලින්ම ඔහුට ඔහුගේ කුඩා ගෝත්‍රයේ බලය ගන්න උදව් කළා. තවමත් කවුරුත් දන්නේ නැහැ අපි උදව් කළ බව. ඔවුන්වත් දන්නේ නැහැ සුළු පිරිසක් වෙලා ඔවුන් බලය ගත්තු හැටි. ඔවුන් දක්ෂ සටන්කරුවන් කියලයි බොහෝ දෙනා හිතන්නේ, ඔවුන් පවා හිතන්නේ එහෙම. මේ නිසා මේ ජීවියා ඒ ග්‍රහලෝකේ ලොකු වීරයෙක්'

'ඇයි මෙයාවම තේරුවේ?'

'මෙයා හිටියේ පළමුවැනි ප්‍රධාන ගෝත්‍රය ආසන්නයේ වුණාට මෙයා සහය දුන්නේ දෙවැනි ප්‍රධාන එකට'

'ඒකෙ වාසිය මොකද්ද?'

'ඒ හරහා අපිට කුඩා සිද්ධියක් නිර්මාණය කළ හැකියි, ඒ ප්‍රධාන ගෝත්‍ර දෙක අතර'

'ඉතින් එහෙම කළාද?'

'ඔව් ඉතාමත් අවදානම් එහෙත් නොකර බැරි වැඩක්. අපි ඒක කළා. අපි මේ කුඩා ජීවී කණ්ඩායම යොදාගෙන යුද්ධයකට ආසන්න අවස්ථාවක් හැදුවා'

'ඉතින් යුද්ධයකට ආසන්න අවස්ථාවක් හැදුවා නම් එක හොඳ දෙයක් වෙන්නේ කොහොමද?'

'මෙහෙමයි. අනාගතය ගැන අනාවැකි කියන අපේ කෘත්‍රීම බුද්ධි පද්ධති ගැන සැහෙන විශ්වාසයක් අපිට තිබ්බා. ඒ අනාවැකි අනුව, ඔය කියන මොහොතේ යුද්ධයකට ආසන්න තත්ත්වයකට ගියාට පාර්ශ්ව දෙකම යුද්ධයට සූදානම් නැහැ. ඒ නිසා යුද්ධයක් ඇති වන්නේ නැහැ. අපි මොකුත් නොකර හිටිය නම් ඉබේම එහෙම තත්ත්වයක් තව කාලෙකින් එනවා. වඩාත් යුදමය ලෙස සූදානම් මොහොතක එහෙම වුණා නම් විශාල විනාශයක් නවතන්න බැහැ'

'හිතපු දේ එහෙමම වුණා ද ?'

'ඔව්, ග්‍රහලෝකයේ භ්‍රමණ වාර දහ තුනක් එක දිගට, යුද්ධයකට ආසන්න අවස්ථාවක් තිබ්බා . ඊට පස්සේ ගෝත්‍ර, දෙක ම තේරුම් ගත්ත අවදානම. ඔවුන් යුද්ධය වළකා ගත්තා'

'එහෙනම් අපේ අනාවැකි හරි'

'ටක්කෙටම. ඒ වගේම ඒ හරහා ඔවුන් තේරුම් ගත්ත මේ අවදානම් තාක්ෂණය තව තවත් වර්ධනය කිරීම විනාශයකට මඟක් කියලා. ඒ තුළින් ඔවුන් පර්යේෂණ සීමා කරන්න සහ අවිහරණය ගැන උනන්දු වෙන්න සාකච්ඡා කරන්න පටන් ගත්තා. මේ නිසා තරමක් සංහිඳියාවක් ඒ ග්‍රහලෝකෙට ලැබුණා. තවම අපේ ඒ උපක්‍රමය සාර්ථකයි'

'අර ජීවියට මොකද වුණේ?'

'අපි කාලයක් හිතුවා ඔහුව ආරක්ෂා කළ යුතුයි කියලා. මොකද මේ වැඩසටහනේ ඔහු කළ කාර්යය ඉහළ එකක් බැවින්. එක ගෝත්‍රයක් ඔහුව මරන්න දිගටම උත්සහ කළා. අපි දිගටම බේරුවා'

'ඒක මම අහල තියෙනවා. ඝාතන සැලසුම් හය සීයක්ද කොහෙද නේද?'

'ඔව් විශාල ගණනක්'

'හ්ම්ම්ම් ඉතින් දැන් ඒ ජීවියාගෙන් වැඩක් නැද්ද?'

'ඒ දේවල් ඉවරවෙලා දැන් බොහෝ කල්. දැන් එයාව මරන්න කාටවත් ඕනේ නැහැ. ඔය නිසි වයස් ආයු වළඳා තමයි ඒ ජීවියා ස්වාභාවිකව මිය ගිහින් තියෙන්නේ. කොටින්ම දැන් ඒ ග්‍රලෝකේ ඒ යුගයට එහා ගිහින්'

'ඒ කියන්නේ අපේ පරණ ලොක්ක කරපු පිස්සු පරීක්ෂණය නිසා ව්‍යසනයක් වෙන්න ඉඩක් දැන් නැහැ'

'අන්න එතනයි අවුල. ඇත්තෙන්ම කිව්වොත් අනතුර එහෙමම තියෙනවා. වෙනස් මුහුණුවරකින් දැන් එළියට එන්නේ. නැවතත් ඒ වගේ ව්‍යසනයකට ඇති ඉඩ වලකන්න සුදුසු උපක්‍රමයක් මේ දවස්වලත් ක්‍රියාත්මකයි'

'ඇත්තට. ඒ මොකද්ද ඒ?'

'අර ළඟදි උන්ගේ ලෝකේ ඡන්දෙකින් කවදාවත් දිනන එකක් නැහැ කියල හිතපු කෙනෙක් බහුතර ඡන්දය නැතුවත් පොඩි පොඩි කෑලිවල ඡන්ද කණ්ඩායම්වල බලයෙන් ඡන්දයක් දින්නේ. අන්න එයා දිනවපු එක තමයි අපේ අලුත් උපක්‍රමය '

සුජීව කොකාවල 

නව අදහස දක්වන්න