අතීතයක් නැවත කියන සරදියෙල් ගම්මානය | දිනමිණ

අතීතයක් නැවත කියන සරදියෙල් ගම්මානය

 

ආසියාවේ වෙළෙඳ කේන්ද්‍රස්ථානයක් වන ශ්‍රී ලංකාව, යුග කිපයකදීම අධිරාජ්‍යවාදීන්ට නතු විය. එයින් මුදා, රට එක්සේසත් කිරීමට ශ්‍රී ලාංකේය රජ දරුවන් මෙන් ම වීරවරයන් ද මහත් වෙහෙසක් හා කැපවීමක් දැරී ය.හිරු නොබසින අධිරාජ්‍යය ලෙස විරුදාවලී ලත් බ්‍රිතාන්‍යයට ද එක් යුගයක දී ශ්‍රී ලංකාව නතු විය. මේ පාලනයට එරෙහිව ශ්‍රී ලංකාවේ විවිධ දෙසින් කැරලි පැන නැගිණි.

බ්‍රිතාන්‍ය පාලනයට එරෙහිව ප්‍රාදේශීය ලෙසින් පැන නැගුණු කැරලිකරුවකු ලෙස 'ලංකාවේ රොබින්හුඩ් නාමයෙන් ලොව සුපතල' උතුවන් කන්දේ සුර සරදියෙල් හැදින්විය හැකි ය.

වර්ෂ 1832 මාර්තු 25 වැනි දින මාවනැල්ල උතුවන් කන්ද ප්‍රදේශයේ අදිසි අප්පු පියාණන්ට දාව, පිංචෝ හාමි මැණියන් බිහි කළ, දීකිරි කෑවගේ සරදියෙල්, පවුලේ වැඩිමහල් දරුවා විය. උපතින්ම ශ්‍රී ලාංකේය බෞද්ධයකු වන සරදියෙල්, අධ්‍යාපනය ලැබුවේ බෙලිගම්මන විහාරස්ථානයේ සහ ඉලුක්ගොඩ විහාරස්ථානයේ ය. දක්ෂ ලෙස අධ්‍යාපනය ලබන බුද්ධිමත් ශිෂ්‍යයකු වුව ද, ඔහුගේ හිතුවක්කාර ගති පැවතුම් නිසා නිරන්තරයෙන් ම ගැටලු ඇති කර ගත්තේය.

ගමේ විධානගේ සමීප ඥාතියකු වූ පොහොසත් පවුලක සිසුවකුට පහර දීම නිසා පොලීස් අත්අඩංගුවට ගෙන දඩුවම් කිරීමෙන් පසුව, ඔහුගේ කලහකාරී තත්ත්වය මදක් පහව ගියේය. ඒ වනවිට ඔහුගේ සඟයන් වුයේ මාමාලේ මරික්කාර්, නසර්දින්, ශ්‍රීකමලා ,මහමුදු සවත් යන අය ය.

කාලයාගේ ඇවෑමෙන් ඔහුගේ තත්ත්වය නරක අතට හැරිනි. සරදියෙල් මං පහරන්නකු විය. එහෙත්, ඔහු කොල්ල කෑ බොහෝ වස්තුව ගම් වැසියන් අතරේ බෙදා දුනි. ඔවුන්ගේ කිසිදු දෙයක් සරදියෙල් සොර සිතින් නොගත්තේය.ඔහුගේ බොහෝ විරුද්ධත්වයන් ඇති වුයේ බ්‍රිතාන්‍ය ජාතිකයන් සහ එහි පහළ මට්ටමේ සිටින ධනය රැස් කර ගත් බ්‍රිතාන්‍යයට පක්ෂපාතී ස්වදේශීය ආධාරකරුවන්ට ය. එම නිසා, ගම් වාසීන්ගේ ප්‍රසාදය දිනා ගැනීමට ඔහුට හැකි විය.ජන ප්‍රවාදයේ එන කථා ප්‍රවෘත්තියකට අනුව, ස්වාමීන් වහන්සේ නමක් විසින් හෙනරාජ තෛලය යොදා ජීවම් කරන ලද යන්ත්‍රයක් ඔහුගේ බාහුවේ ගැට ගසා ඇති බවත්, එයින් සරදියෙල් හට කිසිදු විපතක් සිදු කිරීමට නොහැකි වූ බවත් සඳහන් වේ.

ටික කලකට පසුව ගම අත්හැර කොළඹට පැමිණි සරදියෙල් , රයිෆල් බැරැක්කයෙහි ආවතේවකරුවකු ලෙස සේවයේ යෙදුණු අතර, එහිදී ගිනි අවි පරිහරණය පිළිබඳ හසල දැනුමක් ලබා ගත් ඔහු, ගිනි අවි කිහිපයක් ද රැගෙන පැමිණියහ.

නැවතත් මං පහරන්නකුගේ තත්ත්වයට ඔහු පත් විය.වෙළෙන්දකු වූ නාටකොටි වෙට්ටියාර් ඝාතනය කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට පත් වූ ඔහු, ප්‍රමාණවත් සාක්ෂි නොතිබුණු හෙයින්, නිදහස් කිරීමට අධිකරණයට සිදු විය. ඉන් පසු මොල්ලිගොඩ වලව්ව කොල්ල කෑම හේතුවෙන් නැවතත් වරෙන්තු නිකුත් කළ ද, ඔහු එම ප්‍රදේශය අතහැර පැන ගියේ ය. පියාගේ රැකවරණය බලාපොරොත්තුවෙන් කෑගල්ලට ගියද සරදියෙල්ට, පියා නවාතැන් දීම ප්‍රතික්ෂේප කළේ ය.

මේ හේතුව නිසා සැඟවීමට තෝරා ගත්තේ උතුවන් කන්දයි. උතුවන් කන්ද ගල මුදුනේ සැඟවී සිටින ඔහු, කිසිදු පුද්ගලයකුට අල්ලා ගැනීමට නොහැකි වුයේ, විශාල ගලක සිට තවත් ගලකට පැන යාම නිසා ය. එය ත්‍රාසය දනවන ගමන් මඟකි.

මීගමුව පිලවත්තේදී සරදියෙල් කෝලාහලයකට පැටළුණු අතර, එහිදී පොලිස් බටයකු මරා දැමිම නිසා, ඔහු කොළඹට ගෙන එනු ලැබී ය. එහිදී මහර බන්ධනාගාර ගත කළ සරදියෙල්, එයින්ද පැන උතුවන් කන්දේ සැඟ විය. කන්දට වි සොර කල්ලියක් සාදා ගත් සරදියෙල්, නුවර කොළඹ මාර්ගයේ ගමන් කරන ගැල් සහ අශ්ව කරත්ත කොල්ල කෑහ. එය රඹුක්කන, පොල්ගහවෙල, කුරුණෑගල ප්‍රදේශවල ද සිදු කළේ ය. මේ හේතුව නිසාම බ්‍රිතාන්‍ය පාලනය යටතේ පොලිස් බළ ඇණි ද වැඩි කරන ලදී. සරදියෙල් මව බැලීමට ඇගේ නිවෙස කරා ගිය අවස්ථා වේ ද ඔහු අත් අඩංගුවට ගැනීමට උත්සාහ කළ ද, වෙඩි හුවමාරුවකින් පසු ඔහු මාතලේට පැන ගියේ ය. මේ අතර සරදියෙල්ගේ කණ්ඩායමේ සඟයකු පොලිස් ඔත්තුකරුවන් සමඟ සම්බන්ධ විය.

1864 මාර්තු 21 සරදියෙල් හා මම්මාලේ මරික්කාර් මාවනැල්ලේ නිවෙසක සිටියදී පොලිස් කණ්ඩායමක් ඔවුන් වටලන ලදී. එහිදී සාජන්වරයෙක් සරදියෙල්ට වෙඩි තබා තුවාල කළ අතර, මම්මාලේ මරික්කාර් කොස්තාපල් ෂබාන් ජිවිතක්ෂයට පත් කළහ . ශ්‍රී ලංකා රයිෆල් බළකාය ගෙන්වා සරදියෙල් වට කළ අතර, ඉන් පසු ඔවුන් කිසිවක් කළ නොහැකි නිසා යටත් විය. ඔවුන් මහනුවරට ගෙන ගිය අතර, ජුරි සභාවක් ඉදිරියේ නඩුව විභාග කෙරිණි. ජුරිය මඟින් මොවුන් දෙදෙනා එල්ලා මැරීමට නියම කළේ ය. 1864 මැයි 07 වැනි දින එල්ලුම් ගස වෙත නියම කරන ලද අතර, එය දැක ගැනීමට දහස් දෙනා රැස් විය. එහිදී ඔහු ජනයා අමතා කතාවක් ද කළේ ය.

කෙසේ වෙතත් බොහෝ පිරිසකගේ සැලකීම වන්නේ සරදියෙල් යුක්ති සහගත බවත් බ්‍රිතාන්‍ය පාලනයට එරෙහිව කැරලි ගැසුවකු මිස, මං පහරන්නකු නොවන බවත් ය.

1864 මාර්තු 21 සරදියෙල් අත්අඩංගුවට ගැනීමට උත්සාහ දැරීමේදී මිය ගිය කොස්තාපල් ෂබාස් , මෙහෙයුමක් අතර මියගිය ලංකාවේ පළමු පොලිස් නිලධාරියා වේ. එම හේතුව නිසා, ශ්‍රී ලංකා පොලිසිය, මිය ගිය පොලිස් නිලධාරීන් සිහි කරන පොලිස් දිනය, මාර්තු 21 වැනි දින යොදා ඇත. සරදියෙල් සිහි වීම සඳහා ස්මාරකයක් ද මාවනැල්ලේ ඉදි කර තිබේ.

අද වන විට සොබා සෞන්දර්යයෙන් පිරි සරදියෙල් ගම්මානය , අපට දෙනෙතින් දැක ගැනීමට අවස්ථාව සැලසී තිබේ.මහනුවර - කොළඹ මාර්ගයේ පැමිණෙන ඔබට, උතුවන්කන්ද මංසන්දියෙන් වමට හැරී, කිලෝ මීටරයක් පමණ ගිය විට සරදියෙල් ගම්මානය මුණ ගැසේ. ඉතිහාසය අධ්‍යයනය කිරීමට කැමැති අයටත්, ඡායාරූපකරණ, කඳු නැගිම, චිත්‍රපට නිර්මාණයටත්, කඳවුරු නිර්මාණයටත් මෙය අනගි තෝතැන්නකි. එම සොබා සෞන්දර්ය ආරක්ෂා කිරීම හා එය අනාගත පරපුරට ආරක්ෂා කර දීම, අප සතු යුතුකමකි.

 

සටහන ලක්මිණි ගාල්ලගේ

නව අදහස දක්වන්න