ඒකාබද්ධෙ අයට ඔහොම යන්න දෙමු | දිනමිණ

ඒකාබද්ධෙ අයට ඔහොම යන්න දෙමු

දුමින්ද අලුත්ගෙදර
ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන

අය - වැය යෝජනා ගැන නැඟෙන චෝදනා, අලුත් පක්ෂයේ බිහිවීම සහ බලපෑම, රජයේ රැකියා ලබාදීම පිළිබඳ ප්‍රශ්න ඇතුළු දේශපාලන කරුණු රැසක් පිළිබඳ ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන සමඟ කළ සාකච්ඡාව

* ජනවාරි 08 වැනිදා දෙන්න ඕන සහන සේරම දුන්නා

* රාජ්‍ය-පෞද්ගලික අංශ තරග කරන තැනට ගේන්න පුළුවන්

* හම්බන්තොට මත්තල පාඩු මකාගෙන ඉදිරියට ගෙන යනවා

මෙවර අය වැය සම්බන්ධයෙන් විවිධ අදහස්, මත මෙන්ම චෝදනා - විවේචන එල්ල වෙනවා. ඒ සම්බන්ධයෙන් ඔබතුමාට මොනවද කියන්න තියෙන්නේ?

සාමාන්‍යයෙන් රජයක් අය - වැය ලේඛනයක් සකසන්නේ රටේ අනාගතය දෙස ඉතා හොඳින් බලලා. නමුත් අපේ රටේ මහජනතාව අය - වැය ඉදිරිපත් කරන කොට බලාපොරොත්තු වෙන්නේ, මොනවා හරි අඩු කරලා හැම වෙලාවේම සහන ලබා දෙයි කියලයි. හැම වෙලාවේ ම බලන්නේ අඩු වෙන්නේ මොනවාද කියල විතරයි. 2015 ජනවාරි 8 වැනිදා ජනතාවට ලබාදිය යුතු සහන සියල්ලම ලබා දුන්නා. දිය යුතු සහන ලබා දීලා තිබෙනවා. ඒ වැඩපිළිවෙළට අනුව තමයි අපි ඉදිරියට යන්නේ. අදටත් ඒ සහන අසීමිත ලෙස ජනතාව භුක්ති විඳිනවා. එහෙම සහන දීලා අපි රට ආර්ථික වශයෙන් විශාල පසුබෑමකට ලක් කරලා නැහැ. මෙවර අය වැයෙන් ණය බර අඩු කරලා රැකියා වර්ධනය කරන්න පුළුවන් ක්‍රමයක් තමයි ඉදිරිපත් කරලා තිබෙන්නේ.

රජයේ ජාතික ණය ප්‍රමාණාත්මකව ඉහළ ගිහින් තිබෙනවා. ඒ ණය ගෙවන්නේ කොහොම ද?

ඒකට තමයි අපි මේ අය වැය සැලැසුම් කරලා තිබෙන්නේ. රටේ රැකියා නොමැති තරුණ පිරිසත් වැඩි වෙලා. රටේ ණය ප්‍රමාණය අඩුකරගෙන රැකියා උත්පාදනය කිරීමේ අවශ්‍යතාවයත් අපට තිබෙනවා. සම්ප්‍රදායික අය - වැයක් යනුවෙන් අර්ථකථනය නොකර දිගුකාලීන සංවර්ධනයත් ණය බර අවම කරගැනීමේ ක්‍රමවේදයත් අන්තර්ගත ආකාරයට සැලැසුම් සකස් වෙලා තිබෙනවා. ඒ අනුව මූල්‍ය නගරය, හම්බන්තොට වරාය, ගුවන් තොටුපළ යන ආර්ථික මරමස්ථාන ලෝකයේ තිබෙන වඩාත්ම කාර්යක්ෂම ස්ථාන බවටත් පත් කිරීමේ සැලැසුම් ක්‍රියාත්මකයි. ඒ වගේ පාඩුව අවම කරගෙන ඉදිරියට යන්න අය - වැයෙනුත් යෝජනා ඉදිරිපත් කරලා තිබෙනවා.

රාජ්‍ය සේවයේ ගුණාත්මක භාවය වැඩි කරමින් රට ඉදිරියට ගෙනයන්න අරගෙන තිබෙන සැලැසුම් මොනවා ද?

අයවැය සකස් කිරීමේ දී රටේ ඊළඟ ඉලක්ක කරා ළඟා වීමට රාජ්‍ය යාන්ත්‍රණයේ සම්පූර්ණ පරිවර්තනයක් කළ යුතුයි. දැනට රාජ්‍ය යාන්ත්‍රණයේ ලක්ෂ පහළොවක පමණ සේවක පිරිසක් ඉන්නවා. කවුරු කොහොම රාජ්‍ය අංශය දුර්වලයි කිව්වත්, සියලු පුද්ගලික අංශය මේ තිබෙන තැනට ගේන්න මූලික පිඹුරුපත් සකසන්නේ රාජ්‍ය අංශයයි. ගැටලුවකට තිබෙන්නේ පරණ නීති රීති යටතේ යම් යම් අඩුපාඩු, පමා වීම් සිදු වීමයි. නමුත් අලුත් තාක්ෂණයත් සමග ලෝකය සමග ගනු දෙනු කරන්න මෙවර අයවැයෙන් රාජ්‍ය අංශය වෙනුවෙන් විශාල ඉඩක් වෙන් කරලා තිබෙනවා. ඒ අනුව මම හිතනවා රටේ රාජ්‍ය අංශයත්, පුද්ගලික අංශයත් එකට තරග කරන්න පුළුවන් තැනකට ගේන්න පුළුවන් කියලා. අද ඇති වෙලා තිබෙන තත්ත්වය තමයි හැම කෙනෙක්ට රජයේ රැකියාවක් බලාපොරොත්තු වීම. ඊට ප්‍රධාන හේතුව අරක්ෂාව. සෑම අංශයකම ආරක්ෂාව ඇති කරනවා නම් රැකියා හිඟය අවම කර ගන්නත් පුළුවන්. ඒ නිසා මේ සියල්ල පිළිබඳ දීර්ඝ කාලීන සැලැසුම් ඉදිරිපත් කරලා දියුණු කළ යුතුයි.

රාජ්‍ය සේවයේ තනතුරු ලබාදීමේ දී දේශපාලන වුවමනාවන්ට සිදුවෙනවා යැයි චෝදනාවක් එල්ල වෙනවා නේ ද?

ඔය කතාව සම්පූර්ණයෙන් වැරැදියි. එහෙම තත්ත්වයක් රාජ්‍ය සේවයේ නැහැ. රාජ්‍ය සේවය ගොඩනඟන්න වැඩියෙන්ම පාඩු විඳගෙන කටයුතු කරපු පක්ෂය තමයි අපේ පක්ෂය. වර්තමාන අගමැතිවරයා දැනට වසර විස්සකට පමණ පෙර අධ්‍යාපන අමාත්‍යවරයා ලෙස සිටිය දී ගුරු වෘත්තියට තරග විභාග ක්‍රමය ඇති කළා. අනතුරුව පුළුල් බඳවා ගැනීමේ ක්‍රියාපිළිවෙතක් ආරම්භ කළා. මේවා කරනකොට එදා පාර්ලිවේන්තුවේ දී එතුමාට අපවාද, අවලාදවලට පවා ලක් වෙන්න සිදු වුණා. ඒ ක්‍රියාවලිය සම්බන්ධයෙන් අපේ රටේ මහජනතාවවත් එදා ප්‍රශංසාත්මකව කතා කළේ නැහැ. එහෙම ඇතිකරපු පත්වීම් අරගෙන ඒ අය පාලන තන්ත්‍රය පෙරළා දැමුවා. එහි අහිතකර ප්‍රතිඵලය තමයි අනෙක් රාජ්‍ය අංශවලට නිසි ක්‍රමවේදයක් ගෙන එන්න නොහැකි වීම. අපේ දේශපාලන ක්‍රියාකාරකම් තුළ පසුගිය වසර විස්ස තුළ ඇතැම් රාජ්‍ය සේවකයන්ගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝණය වෙලා තිබෙනවා. හැබැයි අද රාජ්‍ය යාන්ත්‍රණයේ දේශපාලන පත්වීම් බොහොම අවම මට්ටමක තමයි තිබෙන්නේ.

පසුගිය කාලේ රාජ්‍ය සේවා කොමිසම ක්‍රියාත්මක වුණේ නෑ. රාජ්‍ය සේවාවේ අකටයුතුකම්වලට එය බලපාල තිබෙනවා නේ ද?

රාජ්‍ය සේවා කොමිසම අපට ලැබෙන්නේ 1948න් පස්සේ. එතැන් සිට විටින් විට එය විවිධ ආකාරයට ක්‍රියාත්මක වෙලා තිබෙනවා. කොහොම නමුත් කිසිම කොමිසමක් රටේ ප්‍රතිපත්ති සම්පාදකයා වෙන්නේ නැහැ. ප්‍රතිපත්ති සම්පාදකයා වන්නේ මහජනතාව. ඒ හරහා පාර්ලිමේන්තුව ප්‍රතිපත්ති සැකසුවාට පස්සේ ඒ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන්න කොමිෂන් සභා බැඳිලා ඉන්නවා. ඒ අනුව පැවරෙන කාර්යය ඉටු කරන්න රාජ්‍ය සේවා කොමිසම පිහිටුවලා තිබෙනවා. එනිසා කොමිසම කළ යුතු කාර්යයන් නියමාකාරයෙන් කළ යුතුයි.

ජනතාවට මෙවර අයවැයෙන් සහන නැතැයි පවසමින් ඒකාබද්ධ විපක්ෂය අධිකරණ ක්‍රියාමාර්ගවලට යොමුවීමේ සූදානමක් තිබෙනවා?

ඔවුන්ටත් මේ රටේ ජීවත් වෙන්න ක්‍රමයක් අවශ්‍යයි. පැවැත්මක් අවශ්‍යයි. එතකොට ඒ අය නියෝජනය කරන පක්ෂ බලවේග අනුව මොනවා හරි යමක් රට වැසියාට කියන්න ඕන. ඒ නිසා තමයි අපි විරුද්ධයි, අපි උසාවි යනවා කියලා කියන්නේ. එහෙම නැතිව ඒ අය මොනවා කියන්න ද? ඒ නිසා ඔහොම කියන්න ඉඩ දෙන එක හොඳයි.

මහ බැංකු අධීක්ෂණයකින් තොරව ජාතික ණය ගෙවීම් කරන්න, සැකසුණ යෝජනාවක් මෙවර අය වැයෙන් ඉදිරිපත් කළා ද?

අපි විනෝදාංශයට රට පාලනය කරන්නේ නැහැ. ඕනෑම කෙනෙකුට ඕනම චෝදනාවක් කරන්න පුළුවන්. අපේ පාලනය යන්ත්‍රය ලෝකයේ පිළිගත් මූල්‍ය ආයතන හා ප්‍රතිපත්ති අනුගමනය කරන රජයක්. අපි ලෝකය පිළිනොගත් මූල්‍ය ආයතනය සමග වැඩ කරන්නේ නැහැ. ලෝකයේ තිබෙන අලුත්ම තාක්ෂණයත් සමඟ ජයගත යුතු ඉලක්ක මේ ක්‍රමවේදයට ඇතුළත් කරලා තිබෙනවා. හැබැයි පසුගිය වසර විස්සක කාලය ගත්තහම මහ බැංකුවේ කටයුතුවලට අවශ්‍ය අලුත් නීති රීති එකතුවෙලාත් නැහැ. මූල්‍ය පරිපාලනට අවශ්‍ය නීති රීති එකතු වෙලත් නැහැ. එනිසා අපි නීති රීති වේගයෙන් සකසාගෙන යනවා. තව ටික කාලයකින් ඒවා ක්‍රියාත්මක වෙනවා.

පසුගිය රජය සමයේ විශාල ව්‍යාපෘති යෝජනා ක්‍රියාවට නැංවූ බවත්, එවැනි කිසිදු යෝජනා, ව්‍යාපෘති ක්‍රියාත්මක නොකර යහපාලන රජය ජනතාවට වෙත අසීමිත බදු බරක් පනවා ඇතැයි චෝදනාවක් එල්ල වෙනවා?

ඒ චෝදනාව එල්ල වීමට ප්‍රධාන හේතුව තමයි, පසුගිය රජය ලෝකයේ පිළිනොගත් මූල්‍ය ආයතනවලින් ණය ලබා ගැනීම. එවැනි මුදල් ලබා ගැනීම්වල දී, ඔවුන් අනුගමනය කරලා තිබෙන්නේ රට උගස් කර ණය ලබා ගැනීමයි. කොහොම නමුත් ගත්තු ණය විනිවිදභාවයෙන් නිවැරැදිව ආයෝජනය කරලා, නැවත ගෙවන්න පුළුවන් ක්‍රමවේදයට යා යුතුයි. එහෙම නොගියාම රට පිළිබඳ අවිශ්වාසයක් ගොඩනැඟෙනවා. ඒ වගේම එවැනි ණයක් ගත්තාම ගත්තු මුදල් ගෙවන්න විශ්වාසනීය ක්‍රමවේදයක් තිබෙන්න ඕන. ඒක ගෙවන්න ක්‍රමයක් නැතිව රටට බංකොළොත් කියන ලේබලය ඇලවෙන්න කලින් අපි රට මුදා ගත්තා. ඉදිරියේ දී රට නිවැරැදි පාරට ගෙනැල්ලා, ණය බර අඩු කරලා ජනතාව වගකියන කාර්යය දේශපාලකයන් විදිහට අපි හොඳින් කරනවා.

අගමැතිවරයා ප්‍රකාශ කරනවා බැඳුම්කර සිදුවීම ඉතා ඉක්මනින් විසඳිය යුතුයි කියලා. එසේ විසඳිය නොහැකි ගැටලුව කුමක් ද?

විසඳන්ට බැරි ප්‍රශ්නයක් තිබෙනවා. බැඳුම්කර සිද්ධියේ ඉතිහාසය දිග කතාවක්. මේක පත්තර පිටු දහයකින්වත් ලියලා ඉවර කරන්න බැහැ. 2007 සිට 2015 දක්වා බැඳුම්කර ලබා ගත්තේ තෝරා ගත් පුද්ගලික බැංකු කිහිපයකින් පමණයි. ඒ පාලනයේ තිබුණ ප්‍රතිපත්තිය ඒක තමයි. නමුත් අපි ආණ්ඩුවට එන්නත් කලින් කිව්වා මේක වංචනික ක්‍රියාවක්, අපි බලයට ආවාම මේ ක්‍රමය ලෝකයට විවෘත කරනවා කියලා. පැරැණි ක්‍රමයට අවශ්‍ය කරන නීති රීති හදලා තිබුණෙත් නැහැ, අලුත් ක්‍රමයට අනුව ලෝකයට මෙය විවෘත කරනකොට ඊට ගැලපෙන නීති රීතිත් හදලා තිබුණෙත් නැහැ. ඒ අඩුපාඩුව නිවැරැදි කරන්න කැබිනට් මණ්ඩලයට නීති රීති ගෙනවිත් තිබෙනවා. ඒවා අපි ඉක්මනට නීතිගත කරනවා. මේ සිදුවීම් මාලාව නිසා යම් යම් අඩුපාඩු සිදු වෙන්න පුළුවන්. වසර විස්සක් නීති සකසලා නොමැතිව තිබියදී, වසරකින් අපිට නීති හදන්න බැහැ. කොහොම නමුත් ලෝකයේ පිළිගත් ක්‍රමවේදයකට මෙය සකස් කිරීමේ වගකීම අපට තිබෙනවා.

දඩ මුදල් ඉහළ දැමීමෙන් පමණක්, මාර්ග අනතුරු අවම කළ නොහැකි යැයි විද්වතුන් පෙන්වා දෙනවා?

මේක ප්‍රශ්න ගොඩක් මැද්දේ ගෙනෙන නීතියක්. ලෝකයේ අනෙක් රටවල් මාර්ගවල වේග සීමා ඉක්මවීමට දඩ නියම කරන්නේ, මුදල් සෙවීමේ පරමාර්ථයෙන් නෙමෙයි. ඒ මාර්ග පද්ධතිවල නියම ක්‍රමවේදයක් සහිත මාර්ගෝපදේශන සංඥා තිබෙනවා. නමුත් අපේ රටේ මේ දෙය වෙනස්. අපේ රටට විදෙස් රටවලට වගේ දියුණු ක්‍රමයක් නැහැ. අපේ රට තාම අවශ්‍ය තැනට ගමන් කරලා නැහැ. නමුත් මේ ක්‍රියාවලිය ක්‍රියාත්මක කරන්න ඕන. ඒ සඳහා දඩය පමණක් ප්‍රමාණවත් වන්නෙත් නැහැ. පොදු ප්‍රවාහන පද්ධතිය අද ගමන් කරන ආකාරය දෙස බැලුවාම ජීවිත දහස් ගණනක් අනතුරේ ඇති බව පෙනෙනවා. එවැනි තත්ත්වයන් පාලනය කරන්න නීති රීති ගෙන එන්න වෙනවා. ඒ නිසා මෙය කමිටුවක් මාර්ගයෙන් අධ්‍යයනය කළ යුතුයි. කලබල වෙලා තීන්දු තීරණ ගන්න බෑ. පිළිගත් නිසි ක්‍රමවේදයකට මෙය අන්තර්ග්‍රහණය කරන්න ඕන.

ආන්දෝලනයක් ඇති කරමින් රජයේ ප්‍රබල ඇමැතිවරයෙක් ශ්‍රී ලාංකික මුස්ලිම්වරුන් ISIS සංවිධානය සමඟ කටයුතු කරනවා යැයි ප්‍රකාශයක් කර තිබෙනවා. එහි ඇත්ත කුමක් ද?

මේ සම්බන්ධයෙන් ප්‍රකාශය කළ ඇමැතිවරයා මාධ්‍යට කරුණු පැහැදිලි කරලා තිබෙනවා. ඒක එතුමාගේ ප්‍රකාශයක් මිසක් රජයේ මතය නොවෙයි. එනිසා මේ සම්බන්ධයෙන් මම අදහස් පළ කරන්න කැමැති නැහැ.

අපේ රට නිදහසින් පස්සේ ණය බර උග්‍ර වූ රටක් ලෙස සැලකෙනවා. ඉන් රට බේරා ගැනීමේ වගකීම පැවැරෙන්නේ දේශපාලනඥයින්ට නේ ද?

අපි ඒ වගකීම බලෙන් ඉල්ලලා බාර ගත්තා. ඒ නිසා අපි අපේ වගකීම් මැනවින් ඉටු කරගෙන යනවා. ඒ අනුව තමයි මේ රටට අලුත් නීති රීති ගෙනැල්ලා රට යහමඟට ගන්න වෑයම් කරන්නේ. දීර්ඝ කාලීන සැලසුම් හරහා රටේ ආර්ථිකය, සමාජීය වශයෙන් දියුණුව, අධ්‍යාපනය වැනි මූලික කාරණා දෙස දියුණු මනසකින් යුක්තව බැලීමට වර්තමාන දේශපාලනඥයින් කටයුතු කරන්නේ. අපි මේ කරන දේවල් අනාගත පරපුරට ලැබෙනවා. එනිසා ප්‍රපාතයේ තිබුණ රට දැන් ක්‍රමයෙන් ගොඩගෙන දියුණු කරමින් තිබෙනවා.

යහපාලන රජයේ අනාගතය පිළිබඳ මොනව ද කියන්න තියෙන්නේ?

අපිට කිසිම සැකයක් මේ රජය පිළිබඳ තබා ගැනීමේ වුවමනාවක් නැහැ. මේ අවස්ථාව වන විට රටේ කර්මාන්ත විශාල ප්‍රමාණයක් ආරම්භ කෙරමින් යනවා. සියලුම පළාත් ආවරණය වන පරිදි කර්මාන්ත පරාසය විහිදුවලා රටේ නිෂ්පාදන ධාරිතාව වැඩි කිරීමේ සැලැසුම් මෙවර අයවැයෙන් ඉදිරිපත් කළා. එහි ප්‍රතිඵල ඊළඟ අවුරුද්ද තුළ ලැබෙයි. ඒ වගේම තමයි රටේ රැකියා උත්පාදනයත් වේගයෙන් වර්ධනය කරන්න මේ ක්‍රමය තුළ ක්‍රියාත්මක යි. ඒ අනුව රටට යහපත්, ජනතාවට සහන ලැබෙන සාමකාමී රටක් ජීවත්වීමට සුදුසු පරිසරයක් නිර්මාණය කරන්න යහපාලන රජය වගකීමෙන් බැඳී සිටිනවා.

නව අදහස දක්වන්න