පළාත් පාලන මැතිවරණය කොට්ඨාස ක්‍රමයට | දිනමිණ

පළාත් පාලන මැතිවරණය කොට්ඨාස ක්‍රමයට

නිරුෂි විමලවීර

ශ්‍රීලනිප ආසන සංවිධායකවරු හමුවේ ජනපති කියයි

මෙවර පළාත් පාලන මැතිවරණය පැවැත්වෙන්නේ කොට්ඨාස ක්‍රමය යටතේ බවත්, මනාප ක්‍රමය පිළිබඳ තමාගේද එකඟතාවක් නැති බවත් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ප්‍රකාශ කළේය. ඉදිරි පළාත් පාලන මැතිවරණය ජයග්‍රහණය කරා රැගෙන යෑම සඳහා පිරිසිදු දෑත් ඇති ශ්‍රීලංකා නිදහස් පක්ෂයේ පළාත් පාලන නියෝජිතයන් තෝරා පත් කර ගත යුතුව ඇතැයි ද ජනාධිපතිවරයා පැවැසීය. ජනාධිපතිවරයා එසේ සඳහන් කළේ කොළඹ පදනම් ආයතනයේ දී ඊයේ(19) සවස පැවැති ශ්‍රීලංකා නිදහස් පක්ෂ ආසන සංවිධායකවරු පක්ෂ මන්ත්‍රිවරුන්ගේ හමුවකට එක් වෙමිනි. ආණ්ඩුව පෙරළන බවට වහසිබස් දොඩන මහින්ද රාජපක්ෂ මහතා පෙරළා දැමූ ආණ්ඩුවක් පිළිබඳ තමා මෙතෙක් නොදන්නා බවත් එම හපන්කම කළ හැකිවූයේ චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මිය 1994 දී පමණක් බවත් ජනාධිපතිවරයා පැවැසීය.

පක්ෂය ගොඩගැනීම අසීරු තත්ත්වයක පවතින බව ද එහෙයින් මැතිවරණ දෙකකදී ශ්‍රීලනිප පක්ෂය පරාජය වීමේ හේතු සොයා බැලීමට කඩිනමින් කමිටුවක් පත් කළ යුතු බව ද ජනාධිපතිවරයා අනාවරණය කළේය. මැයි දින රැලිය අති සාර්ථක කර ගැනීම සඳහා උරදුන් පාක්ෂියන්ට කෘතවේදිත්වය පළ කළ ජනාධිපතිවරයා සැප්තැම්බර් මස පැවැත්වෙන සම්මේලනය වෙනුවෙන් ද සහයෝගයේ දෑත් දිගු කරන ලෙස ඉල්ලීමක් කළේය.

පක්ෂ මහ ලේකම් දුමින්ද දිසානායක මහතා පිළිගැනීමේ කතාව සිදු කළේය. මන්ත්‍රීවරුන්ගේ අදහස් දැක්වීමේ අවස්ථාවේ දී පක්ෂයේ ඉදිරි ජයග්‍රහණ සම්බන්ධයෙන් ජෝන් සෙනෙවිරත්න ඇමැතිවරයාගේ ප්‍රකාශයට හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය ද අදහස් දැක් වූවාය.

ශ්‍රීලනිප අවතක්සේරු නොකරන ලෙසත් ජනාධිපතිවරු සිව් දෙනෙක් බිහි කළ දැවැන්ත පක්ෂයක් බවත් අවධාරණය කළ හිටපු ජනාධිපතිනිය 94 මැතිවරණයේ කිසිවකුගේ සහාය ලබා නොගත් බව සඳහන් කළාය.

නව අදහස දක්වන්න