විවාහයගැන හීන මවන්නේ නෑ | දිනමිණ

විවාහයගැන හීන මවන්නේ නෑ



ඩිනක්ෂි ප්‍රියසාද්

ඩිනක්ෂි ‍ප්‍රියසාද් නමැති රංගන ශිල්පිනිය ලස්සන හිනාවක් ‍තිබෙන පුංචි තාරකාවක්. ජනප්‍රියතම නිළියට හිමි සම්මානය පසුගිය දා පැවැති දෙරණ සම්මාන රාත්‍රියේදී ඇය හිමිකර ගත්තාය. අෑ පිළිබඳ අලුත් ම තතු දැනගන්න,පසුගියදා අප ඈ හමු වුණා.

* පසුගිය දා ඔබ සම්මානයකින් පිදුම් ලැබුවා. ඒ පිළිබද කතා කළොත්?

දෙරණ චිත්‍රපට සම්මාන උළෙලේ ජනප්‍රියම නිළියට හිමි සම්මානය ලැබුණා. ඒ ගැන මට දැනෙන්නේ සතුටක්. මට මෙතැනට එන්න සහයෝගය දුන් සියලු ම දෙනාට මා මේ මොහොතේදී ස්තුතිවන්ත වෙනවා.

* මොනවද මේ දවස්වල කලා කටයුතු?

ටෙලි නාට්‍ය කීපයක රූගතකිරීම් කරමින් ඉන්නේ. ලබන මාසේ 'සිහින මල' කියන මං ටෙලි රගපෑව ටෙලි නාට්‍ය විකාශය වීමට නියමිතයි. එය සුදන්ත තිලක්සිරි ගේ අධ්‍යක්ෂණයක්. ටී ටුවෙන්ටි ටෙලි නාට්‍ය, තිසුල දීප තඹවිටගේ'මහී පූජා' නාට්‍ය විකාශය වීමටත් නියමිතයි. වී.වී.අයි.පී නාට්‍ය ටීවී වන් නාලිකාවේ විකාශය වෙනවා. එය චාමර පීරිස්ගේ අධ්‍යක්ෂණයක්. මීට අමතරව දෙරණ ස්ටාර් සිටි රියැලිටි ෂෝ වැඩසටහනටත් සම්බන්ධ වෙලා ඉන්නවා.

* අලුතෙන් සිනමා පටයකට දායක වුණේ නැද්ද?

චිත්‍රපටයකට ආරාධනා ලැබිලා තියෙනවා. තවම රූපගතකිරීම් ආරම්භ වුණේ නැහැ.

* හතු පිපෙනවා වගේ ඉක්මනින් නිර්මාණය ‍වන ටෙලි නාට්‍යවලට දායක වෙලා රසිකයන්ට එපා වෙනකල් පුංචි තිරයේ ප්‍රදර්ශනය වෙන නිළියක් වෙන්න ඔබත් කැමතිද?

මට එහෙම නිර්මාණ බොහොමයකට ඇරියුම් ලැබෙන්නේ නෑ. ලැබෙන නිර්මාණවලට මම දායක වෙනවා. ආර්ථිකය ගැන හිතලා අකමැති වුණත්, සමහර නිර්මාණවලට දායක වෙන්න කලාකරුවකුට සිදු වෙනවා. මටත් ඒක වෙනවා. කලාකරුවෙක් වුණාම මොනවා හරි ගුණාත්මක තේරීමක් යටතේ කලා කටයුතුවලට දායක වෙනවා නම් ඒක නළු නිළියන්ටත්, ප්‍රේක්ෂකයන්ටත් හොඳයි කියලා මං හිතනවා. මට ආදර චරිත බොහොමයක් ලැබිලා තියෙනවා. මට ලැබෙන ඕනෑම චරිතයක් බාර අරගෙන ,ඒ චරිතයට සාධාරණයක් කරන්න මට පුළුවන්.

* දිනේෂ් ප්‍රියසාද්' කියන්නේ ජනප්‍රිය අධ්‍යක්ෂවරයෙක්. පියාගේ කලා ගමන දියණියන් තිදෙනාට පාර කපා දුන්නා කිව්වොත්?

ඒකත් එක හේතුවක්. අපි රංගන කටයුතු කරන ගමන් අධ්‍යාපන කටයුතුත් කරනවානේ. ඒත් තාත්තාගේ මුළු ජීවිතේම වෙලා තිබුණේ කලාව. එයාලා ඒ වෙනුවෙන්ම කැපවීමෙන් වැඩ කළා. තාත්තලාට වගේ කලා කටයුතුවල පමණක්ම නිරත වෙන්න අපට අවස්ථාව නැහැ. ඒත් තාත්තාගෙන් මට ගන්න පුළුවන් ආදර්ශය තමයි සියයට සියයක්ම තමන්ගේ වැඩේ වෙනුවෙන්ම කාලය වෙන් කරන එක. සාර්ථකත්වය කරා යන්න පුළුවන් වෙන්නේ එහෙම කළොත් විතරයි .

මට තාත්තා‍ගේ ඒ ගුණය පිහිටලා තියෙනවා.මමත් වැඩක් කරන්න ගියාම පුළුවන් උපරිමයෙන්ම කරනවා. තාත්තා තමයි මම වැඩක් කරන්න ගියාම සම්පූර්ණයෙන්ම සහයෝගය දෙන්නේ. ඒ වැඩේ කරන්න කරන්න කියලා පස්සෙන්ම ඉන්නවා.එයාගේ ආසාව තිබුණේ පොඩි කාලෙ ඉඳලම අප කලා ක්ෂෙත්‍රයට යොමු කරවන්න. අම්මා තමයි අප අධ්‍යාපනයට යොමු කළේ.

* නවක නිළියක් විදිහට ක්ෂේත්‍රයේ නව ගමනක් යන අවස්ථාවේදී, කලා ලෝකයේ ගරු කරන ප්‍රවීණ ශිල්පීන් ඇති. ඔබ ආදර්ශයට ගන්න කැමැති අය කවුද?

ප්‍රවීණ කලාකරුවන්ට මම හැමදාමත් ගරු කරනවා. සමහරු ඇහැට දැකලාවත් නැහැ. අතලොස්සක් අපි අතරේ ඉන්නවා. ඒ අය කරපු නිර්මාණවලට මම බොහොම කැමතියි. ඒ නිර්මාණ එක්ක තමයි මම ඉන්නේ. ඒවා නැත්නම් අද අපිට කලා ක්ෂේත්‍රයක් නැහැනේ. ප්‍රවීණ කලාකරුවන් වගේම, අද කාලේ කලාකරුවන් සමඟත් මම මිත්‍රත්වයෙන් වැඩ කරනවා. මම හැමෝටම ගරු කරන කෙනෙක්. මාලනී ෆොන්සේකා මහත්මිය වාණිජ හා කලාත්මක සිනමාව ජයගත් කෙනෙක්. මම ඇයට කැමතියි. ස්වර්ණා මල්ලවආරච්චි මහත්මියගේ රංගනයටත් මම කැමැතියි. ඊට අමතරව ටෝනි රණසිංහ, ගාමිණී ෆොන්සේකා, ජෝ අබේවික්‍රම කියන මහත්වරුන්ට මම ගෞරව කරනවා.

* අධ්‍යක්ෂණය සහ නිෂ්පාදනය පැත්තෙන් ඉදිරියට යන්න කැමැත්තක් නැද්ද?

නිෂ්පාදනයට අත ගහන්න තරම් සල්ලි තවම මට නැහැ. අධ්‍යක්ෂණයට නම් මම බොහොම කැමැතියි. කවදා හෝ අධ්‍යක්ෂණයට යොමු වෙන්නත් කැමැත්තක් තියෙනවා.

* ගායනය වගේ සැගවුණු දක්ෂතා ඔබට තිබෙනවද?

ගායනයට නම් ඒ තරම් දක්ෂතාවක් නෑ. කවුරුත් හිතුවෙ නෑ මම රඟපායි කියලා. සැඟවුණු දක්ෂතාවක් තමයි රංගනය. ඒක එළියට ඇවිත් තියෙන්නේ. ඉදිරියේ දී මොනවා වෙයිද කියන්න බෑ. දැනට මම ආසාවෙන් කරන්නේ මේ කලා කටයුතු තමයි.

* නිවේදිකාවක් විදිහට කටයුතු කිරීම ඔබේ නිළිකමට බාධා‍වක් වුණොත්?

නිවේදනයෙන් තමයි මම කලා කටයුතු පටන් ගත්තේ.මම තාම ඒක නවත්වලා නෑ. මම එය ඉතාහත්ම කැමැත්තෙන් කරන දෙයක්. එය ක්ෂේත්‍ර දෙකක් නිසා රංගනයට කිසි බාධාවක් නෑ.

* මේ දෙකෙන් ඔබේ අනාගත වෘත්තිය මොකක් වේවිද?

රංගනය වෘත්තිය වෙයි කියලා මම කවදාවත් හිතුවේ නැහැ. ඒත් දැන් මට හිතෙනවා මගේ වෘත්තිය රංගනය වෙයි කියලා. ඒකෙන් ගැළවෙන්න මට දැන් බෑ. මම එය කැමැත්තෙන්ම කරගෙන යනවා. රංගනය වෘත්තිය වෙනවා ව‍ගේම, නිවේදන කටයුතු එයට සමාන්තරව කරගෙන යාවි. කලාව කිව්වහම මේ සියල්ලම ඒකට ඇතුළත්නේ.

* නව අදහස් ඇති කාන්තාවක් විදිහට විවාහය ගැන ඔබ මොනවද හිතන්නේ?

විවාහය කියන දේ දිහා වත්මන් පරපුර බලන්නේ ඉස්සර වගේ නෙමෙයි. විවාහය කියන්නේ කාන්තාවකගේ ජීවිතේ සන්ධිස්ථානයක්. ඒත් දැන් පරම්පරාවේ ගැහැනු ළමයින් ඒක තමයි ජීවිතේ 'එක' කියලා කරගෙන නැහැ. එය තවත් එක් දෙයක් විතරයි. ඒ කාලෙයි මේ කාලෙයි ගැන හිතලයි මම කියන්නේ. ඒ කාලේ කිව්වේ අපේ අම්මලාගේ කාලේ. අද කාලේ ගැහැනිය පිටෙත් පවුල් බර පැටවිලා තියෙනවා. කාන්තාවන් මුදල් හම්බ කරන්න ඕනේ. ඒ නිසා කාන්තාව ස්වාධීන විය යුතු තත්ත්වයක් දැන් තිබෙනවා. තමන්ට මොනවා හෝ ආදායම් මාර්ගයක් හදා ගන්න ඕනෑ. පිරිමියා මත යැපෙන්න හිටියොත් ප්‍රශ්න ඇතිවෙනවා. ඒ ගැන හිතලා වැඩ කළොත් විවාහය සාර්ථක වේවි. ‍

* ඔබ විවාහ වෙන්න බලාපොරොත්තුවක් ඇත්තෙම නැද්ද?

විවාහය කියන දේ කවුරු හෝ කියූ පලියට කරන්නත් බැහැ. ඒක හිතට දැනෙන්න ඕන දෙයක්. කවුරුවත් කියන පලියටවත්, වයස යන හින්දාවත් විවාහ විය යුතු නැහැ. එහෙම විවාහ දැන් කාලේ පවතින්නෙත් නැහැ. ඉස්සර තමයි ඒවා පැවතුනේ. අපේ අම්මා අදටත් කියනවා දැන් කාලේ ළමයි ඉවසන්නේ නෑනේ. අපි නම් ඉවසීමෙන් වැඩ කළා කියලා. ඒක සම්පූර්ණයෙන්ම ඇත්ත. දැන් කාලේ ඉවසන්නත් බෑ. ඉවසුවට ඇති වැඩකුත් නෑ කියලා මං හිතනවා.

* ඔබේ වයස කියන්න කැමතිද?

අවුරුදු විසි හයයි.

* ඔබ පෙම්වතියක්ද?

දැනට නැහැ.

*ආදරය ගැන අත්දැකීම් එහෙම නැති වෙන්න බෑ නේද?

ඔව්. ආදරය ගැන අත්දැකීම් තියෙනවා. එහෙම ආදරේ කරලත් තියෙනවා. ඒවා බිඳ වැටිලත් තියෙනවා. ජීවිතේ පොඩි දුකකුත් තියෙනවා . ඒත් දැනට නම් විවාහ වෙන්න බලාපොරොත්තුවක් නෑ. විවාහ වන කෙනා මං කරන දේවල් එක්ක කැමැත්තෙන් ඉන්න කෙනෙක් වෙන්නත් ඕනෑනේ. එහෙම කෙනෙක් මට හමුවෙලා නැහැ.

* හොඳ කෙනෙක් ලැබුණොත්?

අනාගතේ දී හමු වෙයිද කියන්න බැහැ. එහෙම කෙනෙක් ලැබුණොත්, මෙයත් එක්ක මට ජීවත් වෙන්න පුළුවන් වෙයිද කියලා එතැනදි මට හිතෙන්න ඕනෑ .විවාහ වුණා නම් වෙන් වෙන්න අවශ්‍යතාවක් නැහැනේ. දැනට මට එහෙම කෙනෙක් ගැන හිතිලා නැහැ. ඒකට හේතුව මම සතුටින් ඉන්න නිසා වෙන්න ඇති. එහෙම වුණොත් ඒ ගැන එදාට හිතලා බලනවා. ඊළඟ තත්පරේ මොනවා වෙයිද අපි දන්නේ නෑනේ.

* සහකරුවෙක් ගැන අදහසක් තවම නැතත්, මවක් වෙන එක හැම කාන්තාවකටම තිබෙන හීනයක්. ඔබට ඒ හීනයත් නැද්ද?

මම චූටි බබාලට කැමතියි. ඒත් මම ඒ ගැන හිතලා නෑ. විවාහය ගැන මම හීන මවන්නේ නෑ. තරුණ කාලේ මුල්ම අවධියේ නම් විවාහ වෙන්න ඕනේ, බබාලා හදන්න ඕනේ කියලා අදහස් හිතට ආවා. ඒත් කාලයත් එක්ක අපි කාර්යබහුල වෙලා. දැන් වයසත් එක්ක අත්දැකීම් සමඟ ජීවිතේ ගැන ලේසියට හිතන්න බෑ. අපට දැන් තේරෙනවා ජීවිතේ කොයි තරම් අභියෝග තියෙනවාද කියලා. විවාහයකින් පස්සේ මම ඒ ගැන හිතාවි.

* හොලිවුඩ් සහ බොලිවුඩ් සිනමාව කියන මේ දෙකෙන් කැමැති කෝකටද?

හොලිවුඩ්, බොලිවුඩ් කියන්නේ වෙනස් සිනමා කර්මාන්ත දෙකක්. දෙකටම කැමතියි.

* බොලිවුඩ් සිනමාවේ කැමැතිම නිළිය කවුද?

මම ආසම දීපිකා පදුකෝන්ට.

* නිළියක් විදිහට විවිධ විලාසිතා අනුගමනය කරන්න වෙනවා. වැඩි කැමැත්තක් දක්වන්නේ මොන වගේ විලාසිතාවලටද?

විලාසිතා කරද්දී නම් මම යන උත්සවය හෝ අවස්ථාව සලකලා විලාසිතාව තෝරා ගන්නවා. විශේෂයෙන් බොලිවුඩ් නළු නිළියන්ගේ විලාසිතාවලට කැමතියි. මං වැඩියෙන්ම කැමැති ඉන්දියානු විලාසිතාවලටයි .

* පවුලේ අයගෙන්, විශේෂයෙන්ම සහෝදරියන් දෙදෙනාගෙන් ඔබට ලැබෙන්නේ මොනවගේ සහයෝගයක් ද?

අම්මා තමයි හැම දේම හොඳයි කියලා ධෛර්යමත් කරන්නේ. නංගිලා දෙන්නා හොඳ වගේම මගේ රඟපෑමේ හෝ ඕනෑම දේක අඩුපාඩුත් පෙන්නා දෙනවා. තාත්තත් එහෙමයි. පවුලේ හැමෝම මට විශාල ධෛර්යයක්.

*ඔබේ සහෝදරියන් මේ දිනවල මොනවද කරන්නේ?

ඒ දෙන්නා හොඳින් ඉන්නවා. ශේෂාද්‍රි මේ දවස්වල එයාගේ අධ්‍යාපන කටයුතු කරගෙන යනවා. එයාගේ චිත්‍රපට හයක් පමණ තිරගත වීමට නියමිතයි. ශනුද්‍රි නම් මේ දිනවල උසස් පෙළ විභාගයට සූදානම් වෙනවා. ඇයත් ඉන් පසුව කලා කටයුතුවලට යොමු වේවි.

* ඔබ කෙටි කාලයකදි ජනප්‍රිය චරිතයක් වුණා. ප්‍රසිද්ධ වෙන්න බලපෑ හේතු මොනවද?

මම ප්‍රසිද්ධියට පත් වෙන්න එක හේතුවක් වෙන්න ඇති මගේ නල දත. මගේ නම නොදන්න අය බොහෝ වෙලාවට මා හඳුන්වලා තියෙන්නේ මගේ නල දත ගැන කියලයි.

මගේ තාත්තා වගේම මගේ කලා හැකියාව නිසා මං ප්‍රසිද්ධියට පත් වෙන්න ඇති.

 

සාකච්ඡා කළේ

චින්තා රණසිංහ

ඡායාරූප - දිලිප් තරංග

නව අදහස දක්වන්න