බැඳුම්කරය හා බැඳි කෝප් වාර්තාවට වාරණයක්

රෝෂන් තුෂාර

 මහ බැංකු භාණඩාගාර බැඳුම්කර ගනුදෙනුව විමර්ශනය කිරීමට කථානායකවරයා පත්කළ කෝප් කමිටුවේ (පොදු ව්‍යාපාර කටයුතු පිළිබඳ කාරක සභාවේ) උප කමිටුව නිකුත් කළේ යැයි කියන වාර්තාව පාර්ලිමේන්තුවේ සභාගත කිරීමකින් තොරව ප්‍රසිද්ධ කිරීම හෝ ප්‍රකාශයට පත් කිරීම වළක්වමින් 'වාරණ නියෝගයක්' කොළඹ දිසා අධිකරණය ඊයේ (16) නිකුත් කළේය.

 

කෝප් කමිටුවේ උප කමිටු හිටපු සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිව් ගුණසේකර මහතා හා කමිටුවේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 12 දෙනෙකුට එම වාරණය නිකුත් කර තිබේ.

පාර්ලිමේන්තුව විසුරුවා හැර ඇති අවස්ථාවක පොදු ව්‍යාපාර කටයුතු පිළිබඳ කාරක සභාවේ සභාපතිවරයාට කෝප් වාර්තා ප්‍රසිද්ධ කිරීම හෝ සංසරණය කිරීම නීති විරෝධි බව පෙන්වමින් මහා භාණ්ඩාගාර බැදුම්කර සිද්ධියට අදාළ කෝප් වාර්තාව ප්‍රසිද්ධ කිරීම හෝ සංසරණය කිරීම වළක්වාලමින් අතුරු ඉංජන්සන් තහනමක් පනවන ලෙස අධිකරණ නියෝජ්‍ය ඇමැති අධිනීතිඥ සුජීව සේනසිංහ මහතා ඊයේ (16) කොළඹ දිසා අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

කමිටු සාමාජික අධිකරණ නියෝජ්‍ය ඇමැති සුජීව සේනසිංහ මහතා ගොනුකළ පැමිණිල්ලක් සලකා බැලීමෙන් පසුව කොළඹ අතිරේක දිසා විනිසුරු සුමිත් පෙරේරා මහතා විසින් එම වාරණය

ලබන 23 දින දක්වා ක්‍රියාත්මක වන පරිදි නිකුත් කරන ලදී.

පෙබරවාරි 27 වැනි දින මහ බැංකුව විසින් භාණ්ඩාගාර බැදුම්කර නිකුත් කිරීමේ ගනුදෙනුව සම්බන්ධයෙන් වාර්තාවක් ඉදිරිපත් කිරීමට පාර්ලිමේන්තු කථානායකවරයා විසින් පසුගිය මැයි 20 දින පත් කරනු ලැබූ කෝප් කමිටු වාර්තාව ප්‍රසිද්ධ කිරීම එසේ වාරණයට ලක් කළේය.

පැමිණිලිකාර සුජීව සේනසිංහ මහතා වෙනුවෙන් නීතිඥ ෆර්මන් කාසීම් මහතා අධිකරණයට කරුණු දක්වමින් කියා සිටියේ අදාළ ගනුදෙනුව සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට කමිටුව දින 11ක් කැඳවා සාක්ෂි සටහන් කළ නමුත් ජුනි 26 දින පාර්ලිමේන්තුව විසුරුවා හැරි බැවින් වාර්තාවක් සකස් කිරීම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම සිදු නොකළ බවය.

කමිටුව විසින් සකස් නොකළ එමෙන්ම පාර්ලිමේන්තුවට ඉදිරිපත් නොකළ සත්‍ය වශයෙන්ම නොමැති වාර්තාවක් ඩිව් ගුණසේකර මහතා විසින් ප්‍රකාශයට පත් කිරීම හෝ මොනයම් ආකාරයකින් ප්‍රසිද්ධ කිරීම ඉදිරි මහ මැතිවරණයට තරග කිරීමට සිටින කමිටුවේ සෙසු සාමාජිකයින්ට බලවත් අගතියක් බවද නීති විරෝධී බවද කියා සිටියේය.

එසේ කෝප් කමිටුව විසින් සකස් කර පාර්ලිමේන්තුවට ඉදිරිපත් නොකළ නැති වාර්තාවක් පක්ෂ නායකයින්ට ලබාදෙන බවට ප්‍රකාශ කිරීම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වරප්‍රසාද උල්ලංඝනය කිරීමක් බවද පාර්ලිමේන්තුවට ඉදිරිපත් නොකළ වාර්තාවක් ප්‍රසිද්ධ කිරීම 1978 අංක 05 දරන පාර්ලිමේන්තු පනත අනුව දඬුවම් ලැබිය හැකි වරදක් බවද කරුණු ඉදිරිපත් කෙරිණි. පාර්ලිමේන්තුව විසුරුවා ඇති බැවින් මන්ත්‍රීවරුන්ගේ අයිතින් හා වරප්‍රසාද රැකගැනීමට ඇති එකම ප්‍රතිකර්මය අධිකරණය බැවින් අදාළ වාරණය නිකුත් කරන ලෙසද ඉල්ලා සිටියේය. පෙත්සමේ සෙසු විත්තිකරුවන් ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන වෛද්‍ය රාජිත සේනාරත්න, රෝසි සේනානායක, එරාන් වික්‍රමරත්න, ලසන්ත අලගියවන්න, අර්ජුන රණතුංග, සුසිල් ප්‍රේමජයන්ත, වීරකුමාර දිසානායක, සුනිල් හඳුන්නෙත්ති, එච්.ටී. හසන් අලි, මහාචාර්ය රජිව් විජේසිංහ හා ඊ. සරවනපවන් යන මහත්ම මහත්මීහු නම් කර තිබිණි.

කරුණු සලකා බැලූ දිසා විනිසුරුවරයා අදාළ වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සභාගත කිරීමකින් තොරව ප්‍රසිද්ධ කිරීම හෝ ප්‍රකාශයට පත් කිරීම හෝ සංසරණය කිරීම වළක්වමින් විත්තිකරුවන්ට හා ඔවුන්ගේ නියෝජිතයින්ට වාරණ නියෝග හා අතුරු තහනම් දැන්වීම් නිකුත් කරමින් ලබන 23 දින අධිකරණයේ කරුණු දක්වන ලෙසට නොතිසි නිකුත් කළේය.

මෙම පැමිණිල්ල නීතිඥ ලංකා ධර්මසිරි මහත්මිය මඟින් පවරා තිබිණි.


නව අදහස දක්වන්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.

Or log in with...