ලක්ෂ 62ක බලාපොරොත්තු ආපස්සට හරවන්න එපා | දිනමිණ

ලක්ෂ 62ක බලාපොරොත්තු ආපස්සට හරවන්න එපා

ඉන්දික පොල්කො­ටුව

 ජනවාරි අටවෙනිදා තීන්දුවට වෙනසක් නොවන හැට දෙලක්ෂයක් ජනතාවගේ බලාපොරොත්තු හා රට ආපස්සට නොයන යහපත් තීන්දුවක් ජනාධිපතිතුමන් ගනු ලබයි කියා රටම බලා සිටින බව මල්වතු පාර්ශ්වයේ මහනායක තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මහා නාහිමියෝ පවසති. ජනාධිපතිතුමන් එවැනි යහපත් තීන්දුවක් ගනු ලබයි කියා තමන් වහන්සේ ද විශ්වාස කරන බවත් මහා නාහිමියන් මෙහිදී කීහ.

බස්නාහිර පළාත් සභාවේ විපක්ෂයේ ප්‍රධාන සංවිධායක හර්ෂණ රාජකරුණා මහතා ඊයේ (09) මල්වතු පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මහනාහිමියන් බැහැ දුටු අවස්ථාවේ උන් වහන්සේ මේ බැව් පැවසූහ.

පැරණි නඩේම යළි පැමිණෙන ආකාරයක් දක්නට ලැබෙන බවත් එහෙත් ඉන් කිහිප දෙනෙකු ඉවත් කැර ඇති බවට දැන ගන්නට ඇතැයිද මල්වතු මහානාහිමියෝ මෙහිදී පැවසූහ.

නාමයෝජනා ලබාදීමේදී සුදුසු හොඳ අය දැමීමට පක්ෂ නායකයන් දැනගත යුතු බවද හොඳ අයට ඡන්දය ලබාදෙන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටීමෙන් එතරම් ඵලක් නොවන බවද මහානාහිමි‍යෝ කීහ.

පැෆරල් සංවිධානය වැනි සංවිධාන මේ සඳහා දක්වන උනන්දුව ඉතා වැදගත් බවද එහෙත් පක්ෂ වලින් හා පක්ෂ නායකත්වය මේ සඳහා ප්‍රමුඛ කාර්යභාරයක් ඉටු කළ යුතු බවද මල්වතු මහානාහිමියෝ මෙහිදී පැවසුහ.

හර්ෂණ රාජකරුණා මහතාගේ පියා මහත්මා දේශපාලනඥයකු යැයිද, පියා සේ පුත් හර්ෂණ රාජකරුණා මහතාද එම අඩිපාරේ යාම ඉතා ප්‍රශංසනීය යැයිද උන්වහන්සේ කීහ.


නව අදහස දක්වන්න