සන්ධාන ලැයිස්තුවේ නුසුදුස්සන්ට ජනපති අනුමැතිය නෑ | දිනමිණ

සන්ධාන ලැයිස්තුවේ නුසුදුස්සන්ට ජනපති අනුමැතිය නෑ

ටී. චන්ද්‍රසේකර

 එක්සත් ජනතා නිදහස් සන්ධානයේ නාමයෝජනා ලැයිස්තුවට නුසුදුස්සන් කිහිපදෙනෙකුගේ නම් ඇතුළත් වී තිබීම නිසා එය අනුමත කිරීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ප්‍රතික්ෂේප කර තිබේ.

නාම යෝජනා පිළිබඳව ජනාධිපතිවරයා සමඟ පැවැති සාකච්ඡාව එකඟතාවයකින් තොරව අවසන් විය. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා යෝජනා කර ඇති දූෂණ අක්‍රමිකතා මත්ද්‍රව්‍යවලට සම්බන්ධ අය අපේක්ෂකයින් ලෙස නම් කිරීමට ජනාධිපතිවරයා ප්‍රතික්ෂේප කිරීම නිසා එකඟතාවයට පැමිණීමට නොහැකි බව පැවැසේ.

දූෂණ අක්‍රමිකතා, මත්කුඩු සම්බන්ධ චෝදනා එල්ලවූ අයට නාම‍යෝජනා ලබාදීම ප්‍රතික්ෂේප කරන ලෙස ජනාධිපතිවරයා, දැනුම් දී තිබියදීත්, එය නොසලකා නාමයෝජනා ලැයිස්තු සකස්කර ඇති නිසාම එය අනුමත නොකළ බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අභ්‍යන්තර ආරංචිමාර්ග සඳහන් කර සිටියි.

සන්ධානයේ නාමයෝජනා ලැයිස්තුව ඊයේ අනුමත කිරීමට නියමිතව තිබුණ ද, මේ හේතුව මත නාමයෝජනා ලැයිස්තුව තව දින දෙකකට කල් දැමීමට සිදුවූ බව ද එම ආරංචි මාර්ග කියා සිටියි. මේ අනුව චෝදනා එල්ලවී ඇති හිටපු අමාත්‍යවරුන් සිව්දෙනකුට නාමයෝජනා නොලැබෙන අතර, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඔවුන්ට ද නාමයෝජනා ලබාදෙන ලෙස ඉල්ලීමක් කර තිබේ.

එහෙත්! දූෂණ, අක්‍රමිකතා හා මත්ද්‍රව්‍ය සිද්ධීන්වලට සම්බන්ධ කිසිවකුටත් නාමයෝජනා ලබා නොදෙන ලෙස බහුජන සංවිධාන රැසක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් ‍ඉල්ලා ඇත.

මේ අතර, දූෂණවලට සම්බන්ධ අයට නාමයෝජනා ලබා දුන්නහොත් ශ්‍රී ල.නි.පක්ෂය නියෝජනය කරමින් එ. ජ. නි. ස. යටතේ තරග කිරීමට නියමිත අපේක්ෂකයින් කිහිපදෙනකු ඉවත්වන බවට අනතුරු හඟවා තිබේ.

මෙවන් තත්ත්වයක් හමුවේ දූෂණ, අක්‍රමිකතාවලට සම්බන්ධ කිසිවකුටත් නාමයෝජනා නොලැබෙන ආකාරයෙන් ඒවා සකස් කරන්න යැයි ජනාධිපතිවරයා එ. ජ. නි. සන්ධානයේ බලධාරින්ට දැනුම්දී ඇත.

මේ අතර හිටපු මන්ත්‍රීවරුන් වන දිනේෂ් ගුණවර්ධන, බන්දුල ගුණවර්ධන, ටී. බී. ඒකනායක, කුමාර වෙල්ගම, සාලින්ද දිසානායක යන අය හිටපු ජනාධිපතිවරයා හමුවී ඊයේ (08) උදෑසන සාකච්ඡා කර ඇති අතර, එහිදී නාමයෝජනා ප්‍රතික්ෂේපවී ඇති අපේක්ෂකයින් සම්බන්ධයෙන් ගතයුතු ක්‍රියාමාර්ග පිළිබඳ සාකච්ඡා කර ඇත.


නව අදහස දක්වන්න