විනිසුරු ආබෲ නඩුවේ වාර්තාව ශ්‍රේෂ්ඨාධිකරණයට | දිනමිණ

විනිසුරු ආබෲ නඩුවේ වාර්තාව ශ්‍රේෂ්ඨාධිකරණයට

නෙල්කා මැදගෙදර

 සිය නිවසේ සිටි සේවිකාවට පිස්තෝලයෙන් පහරදුන් බවට චෝදනා ලැබ ඇප මත මුදා හැර සිටින ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු සරත් ද ආබෲ මහතාට එරෙහිව ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයෙහි පැවැත්වෙන නඩුවට අදාළ නඩු වාර්තාව වහාම ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කරන ලෙස එහි ලේඛකාධිකාරීවරයාට ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (08) නියෝග කළේය.

එම නඩුවේදී සහ ඇප නියම කිරීමේදී ගල්කිස්ස මහේස්ත්‍රාත්වරයා විනිසුරු සරත් ආබෲ මහතාට වාසි සහගත සහ පක්ෂග්‍රාහී වන ලෙස කටයුතු කර ඇති බැවින් එම නඩු වාර්තාව කැඳවා ඒ පිළිබඳ පරීක්ෂණයක් පවත්වන ලෙස නීතිපතිවරයා විසින් කළ ඉල්ලීමකට අවසර දෙමින් ශ්‍රේෂ්ඨාධිකරණය මෙම නියෝගය කළේය.

ඒ අනුව එම සිද්ධිය සම්බන්ධයෙන් ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයෙහි පැවැත්වෙන අංක 2049/15 දරන නඩු වාර්තාව ප්‍රමාදයකින් තොරව වහාම ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කරන ලෙස නියම විය.

තමා අත්අඩංගුවට ගැනීමෙන් පොලිස් නිලධාරීන් වළක්වන අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු සරත් ද ආබෲ මහතා ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් කැඳවූ අවස්ථාවේදී ශ්‍රේෂ්ඨාධිකරණය මෙම නියෝගය කළේය.

මෙම පෙත්සම මහජනතාවට වැදගත් වන කරුණක් සහ අධිකරණයේ ගරුත්වය පිළිබඳ කරුණක් පිළිබඳව ඉදිරිපත් වී ඇති බැවින් එය තිදෙනකුට වැඩි පූර්ණ විනිසුරු මඬුල්ලක් ඉදිරියෙහි විභාගයට ගැනීම සඳහා අගවිනිසුරුවරයාට යොමු කිරීමටද ශ්‍රේෂ්ඨාධිකරණය නියම කළේය.

උපාලි අබේරත්න, අනිල් ගුණරත්න යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ල ඉදිරියෙහි මෙම පෙත්සම ඊයේ (08) කැඳවන ලදී.

එහිදී මෙම සිද්ධියෙන් අගතියට පත් පහරකෑමට ලක් වූ බව කියන ගෘහ සේවිකාව වෙනුවෙන් පෙනී සිටි නිතිඥ ක්‍රිෂාන්ත වැලිඅමුණ මහතා කියා සිටියේ මෙහිදී බරපතළ ලිංගික හිරිහැරයක් සිදුව ඇති බවය. ගෘහ සේවිකාව රෝහල්ගතව සිටියදී විනිසුරුවරයාට එරෙහිව ඇති පැමිණිල්ල ඉවත් කර ගන්නා ලෙස ඇයට මුදල් ද ලබාදී විවිධ බලපෑම් කර ඇති බව ඒ මහතා කීය. එහෙත් එම කරුණු ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයට මෙන්ම ශ්‍රේෂ්ඨාධිකරණයටද පෙත්සම්කාර විනිසුරුවරයා විසින් කරුණු වසන් කර තිබෙන බව නීතිඥවරයා සඳහන් කළේය. මෙම පෙත්සමට මැදිහත් වී කරුණු දැක්වීමට අවස්ථාව දෙන ලෙස හෙතෙම අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

මෙහිදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජෙනරාල් යසන්ත කෝදාගොඩ මහතා කියා සිටියේ මෙම සිද්ධිය සම්බන්ධ නඩුවේදී ගල්කිස්ස මහේස්ත්‍රාත්වරයා වැරැදි සහගත ලෙස නීතියට පටහැනිව කටයුතු කර ඇති බැවින් එය අධිකරණයේ ගරුත්වයටද විශාල කැළලක් සිදුවන බවය. එහිදී ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයාට වාසිසහගත වන ලෙස අගතිගාමීව පක්ෂග්‍රාහීව කටයුතු කර ඇති බව ඒ මහතා කීය. මෙය මෙරටෙහි ජ්‍යෙෂ්ඨ අධිකරණ නිලධාරියකු සම්බන්ධ ප්‍රශ්නයක් සහ නීතියේ ආධිපත්‍ය පිළිබඳ විශාල ප්‍රශ්නයක් වන බවද හෙතෙම සඳහන් කළේය. එබැවින් එම නඩු විභාගය විනිවිදභාවයෙන් යුතුව සිදු විය යුතු බවද හෙතෙම සඳහන් කළේය. එබැවින් එම නඩු වාර්තාව කැඳවා ඒ පිළිබඳ පූර්ණ පරීක්ෂණයක් පවත්වන ලෙස හෙතෙම අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

මෙහිදී ශ්‍රී ලංකා නීතීඥ සංගමයෙහි සභාපති ජෙෆ් අලගරත්නම් මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ෂිබ්ලි අසීස් මහතා ප්‍රකාශ කළේ නීතිපතිවරයා වෙනුවෙන් අතිරේක සොලිසිටර් ජෙනරාල්වරයා ඉදිරිපත් කළ කරුණු වලට තමා සියයට සියයක්ම එකඟවන බවයි. මෙය නීතියේ ආධිපත්‍යය පිළිබඳ ගැටලුවක් වන බැවින් විනිවිදභාවයෙන් යුතුව මෙම නඩු විභාගය සහ පෙත්සම් විභාගය පවත්වාගෙන යා යුතු අතර එහිදී සියලු පාර්ශ්වයන්ට කරුණු දැක්විමට අවස්ථාව දිය යුතු බවද හෙතෙම සඳහන් කළේය. ඒ අනුව පෙත්සමට මැදිහත්වී කරුණු දැක්වීමට අවසර දෙන ලෙස හෙතෙම අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

මෙහිදී පෙත්සම්කාර විනිසුරුවරයා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ මනෝහාර ද සිල්වා මහතා සඳහන් කළේ මෙම සිද්ධියේදී නීතිපතිවරයා හිතාමතාම විනිසුරුවරයාට එරෙහිව කටයුතු කරන බවය.

මෙම පෙත්සම ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයෙන් පෙත්සම්කරුට ඇප නියම කිරීමට පෙර ගොනු කර ඇති බැවින් එම කරුණු ඇතුළත් සංශෝධිත පෙත්සමක් ඉදිරිපත් කිරීමට හෙතෙම ඉල්ලා සිටියේය.

අධිකරණය ඒ සඳහා අවසර දෙන ලදී.

ගල්කිස්ස මූලස්ථාන පොලිස් පරීක්ෂක චානක ඉද්දමල්ගොඩ, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මිනීමැරුම් විමර්ශන අංශයෙහි ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක වනසිංහ, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ බී.ආර්.එස්.ආර්. නාගහමුල්ල, පොලිස්පතිවරයා, දකුණු කොළඹ මහ රෝහලේ අධ්‍යක්ෂ අසේල ගුණවර්ධන සහ නීතිපතිවරයා මෙම පෙත්සමෙහි වගඋත්තරකරුවෝ වෙති.

පෙත්සම මෙම ජුලි මස 14 වැනිදා අගවිනිසුරුවරයා ප්‍රමුඛ විනිසුරු මඬුල්ලක් ඉදිරියෙහි කැඳවීමට නියම විය.


නව අදහස දක්වන්න