මොහොමඩ් සියාම් ඝාතන නඩුව සිවුවැනි විත්තිකරුගේ සාක්කි ලැයිස්තුව ඉල්ලා අස්කර ගනී | දිනමිණ

මොහොමඩ් සියාම් ඝාතන නඩුව සිවුවැනි විත්තිකරුගේ සාක්කි ලැයිස්තුව ඉල්ලා අස්කර ගනී

කුමුදු හෙට්ටිආරච්චි

 කෝටිපති ව්‍යාපාරික මොහොමඩ් සියාම් ඝාතන නඩුවේ සිවුවන විත්තිකරු වෙනුවෙන් සාක්කිදීම සඳහා ජනාධිපතිතුමා, ජනාධිපති ලේකම්තුමා සහ හිටපු අගවිනිසුරුවරියගේ නම් ඇතුළත් සාක්කි ලැයිස්තුවක් ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් එම නඩුව විභාග කරන ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ල අප්‍රසාදය පල කිරීමෙන් පසු විත්තිකරුගේ නීතිඥවරයා එම නම් සාක්කි ලැයිස්තුවෙන් ඊයේ (08) ඉල්ලා අස්කර ගත්තේය.

මෙම නම් විත්තියේ සාක්කි සඳහා ඇතුළත් කිරීමෙන් අධිකරණ බලය අභියෝගයකට ලක්කිරීමට උත්සාහ කර ඇති බව ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ල පෙන්වාදීමෙන් පසුව විත්තියේ නීතිඥවරයා විසින් එම නම් එසේ ඉල්ලා අස්කර ගන්නා ලදී.

මෙලෙස අධිකරණය අභියෝගයට ලක්කිරීම මගින් විත්තිකරුගේ නීතිඥවරයාට එරෙහිව අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව මත නඩු පැවරීමේ හැකියාව ඇති බව ද ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඬුල්ලේ සභාපති විනිසුරු ලලිත් ජයසූරිය මහතා විසින් මෙහිදී පෙන්වා දෙන ලදී.

කවර‍ හේතු මත මෙම නම් ඇතුළත් කිරීමට අදහස් කළේ දැයි සභාපති විනිසුරුවරයා විත්තිකරුගේ නීතිඥ ජාලිය සමරසිංහ මහතාගෙන් මෙහිදී විමසා සිටි අතර මෙම නම ඇතුළත් කළේ අධිකරණය අභියෝගයට ලක් කිරීමට නම් මේ දැන්ම නීතිඥවරයාට එරෙහිව අධිකරණයට අපහාස කිරීම මත නඩුවක් පැවරීමේ හැකියාවක් ඇතැයි ද පැවැසීය.

ඉන් අනතුරුව විත්තිකරුගේ නීතිඥ ජාලිය සමරසිංහ මහතා විසින් ඔහු විසින් සාක්කි ලැයිස්තුවට ඇතුළත් කළ ඉහත නම් ඉල්ලා අස්කර ගත්තේය.

නඩුවේ සිව්වන විත්තිකරු වන පොලිස් කොස්තාපල්වරයකු වන ප්‍රියන්ත සංජීව වෙනුවෙන් සාක්කි ලබාදීම සඳහා ඉහත නම් ඇතුළත්ව සාක්කිකරුවන් 09 දෙනකුගෙන් යුතු සාක්කි ලැයිස්තුවක් විත්තිකරුගේ නීතිඥවරයා විසින් කොළඹ මහාධිකරණ රෙජිස්ට්‍රාර්වරිය වෙත ඉදිරිපත් කර තිබුණි.


නව අදහස දක්වන්න