මූල්‍ය අපරාධ කොට්ඨාසය ගැන කරුණු කියන්න පොලිස්පතිට නොතිසි | දිනමිණ

මූල්‍ය අපරාධ කොට්ඨාසය ගැන කරුණු කියන්න පොලිස්පතිට නොතිසි

නෙල්කා මැදගෙදර

 මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය පිහිටුවීම සම්බන්ධයෙන් කරුණු දැක්වීම සඳහා ලබන අගෝස්තු මස 13 වැනිදා අධිකරණයෙහි පෙනී සිටින ලෙස පොලිස්පතිවරයාට නියෝග කරමින් අභියාචනාධිකරණය ඊයේ (08) නොතිසි නිකුත් කෙළේය.

මූල්‍ය අපරාධ කොට්ඨාසය පිහිටුවීම සහ එම කොට්ඨාසය සම්බන්ධයෙන් පක්ෂව සහ විපක්ෂව ඉදිරිපත් වූ කරුණු සලකා බැලීමෙන් පසුව මෙලෙස නොතිසි නිකුත් කරන ලදී.

මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය නීතිවිරෝධී බවට ප්‍රකාශ කර එම කොට්ඨාසය සහ එය පිහිටුවූ ගැසට් නිවේදනය බල රහිත කරන ලෙස ඉල්ලා ගොනුකළ පෙත්සම් දෙකක් කැඳවූ අවස්ථාවේදී නීතිඥවරු විසින් මෙලෙස කරුණු ඉදිරිපත් කරන ලදී.

අභියාචනාධිකරණ සභාපති විනිසුරු විජිත් මලල්ගොඩ මහතා සහ එච්. සී. ජේ. මඩවල මහත්මිය ඉදිරියෙහි මෙම පෙත්සම් ඊයේ (08) කැඳවන ලදී. ඇල්ලේ ගුණවංශ හිමියන් සහ මහාචාර්ය කාලෝ ෆොන්සේකා මහතා සහ රොහාන් වැලිවිට මහතා විසින් මෙම පෙත්සම ගොනු කර ති‍බිණි. පෙත්සම මගින් වගඋත්තරකරු ලෙස නම් කරනු ලැබ සිටින්නේ පොලිස්පතිවරයාය.

පසුගිය රජය සමයේ සිදු කළ වංචා දූෂණ විමර්ශනය කිරීම සඳහා ඉකුත් පෙබරවාරි මස 13 වැනිදා පොලිස්පතිවරයා විසින් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය පිහිටුවා තිබේ. පොලිස් ආඥා පනතේ 55 වැනි වගන්තිය අනුව එම ඒකකය පිහිටුවූ බව 1901/20 දරන ගැසට් නිවේදනයෙහි සඳහන් වේ. එතෙක් එම 55 වන වගන්තිය අනුව එවැනි ඒකකයක් පිහිටුවීමට පොලිස්පතිවරයාට බලයක් නැතැයිද, පොලිස් නිලධාරින් සහ ඔවුන්ට අදාළ කාරණා සම්බන්ධයෙන් ක්‍රියාත්මක වීම සඳහා වන බලය එම වගන්තිය මගින් ලබාදී ඇතැයි ද පෙත්සම්කරුවන් වෙනුවෙන් මෙහිදී කරුණු දැක්වූ ජනාධිපති නීතිඥ උදිත ඉගලහේවා මහතා කීය. එසේම අගමැතිවරයාගේ අනුමැතියට යටත්ව පත්කළ කැබිනට් අනුකමිටුවක් හමුවෙහි කරන විශේෂ පැමිණිලි විමර්ශනය කිරීම මෙමගින් කරන බව පෙත්සම්කරුවෝ පවසති.

එලෙස අගමැතිවරයා යටතේ ඇති කැබිනට් අනුකමිටුව එම පොලිස් ඒකකයේ නියෝජ්‍ය පොලිස්පතිවරයාට දෙනු ලබන නියෝගය අනුව විමර්ශන සිදු කිරීම වැරැදි සහගත බව ද, එය මුළුමනින්ම දේශපාලන උවමනාවන් මත සිදුවන බව ද පෙත්සම්කරුවන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ උදිත ඉගලහේවා මහතා සඳහන් කෙළේය.

ඒ අනුව මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය මුළුමනින්ම නීතිවිරෝධී බව හෙතෙම සඳහන් කෙළේය. මෙහිදී වගඋත්තරකාර පොලිස්පතිවරයා වෙනුවෙන් අතිරේක සොලිසිටර් ජෙනරාල් ෆර්සානා ජමීල් මහත්මිය දීර්ඝ ලෙස කරුණු ඉදිරිපත් කෙළේය.

මෙම පොලිස් කොට්ඨාසය පිහිටුවීම පොලිස් ආඥාපනතට අනුව කර ඇති බවත්, ඒ සඳහා පොලිස්පතිවරයාට පූර්ණ බලතල ඇති බවත් ඇය සඳහන් කළාය.

කරුණු සලකා බැලූ අධිකරණය මෙම පෙත්සම් සම්බන්ධයෙන් විභාගයක් පැවැත්වීමට තීරණය කෙළේය.


නව අදහස දක්වන්න