වීරයෙක් නැති හින්දා | දිනමිණ

වීරයෙක් නැති හින්දා

 අඹ ගහ යට පුංචා පැංචිලා ටික ටිකක් හෙල්ලෙන විදිහේ වැඩක් පසුගියදා සිද්ධවුණා. ලොකු පුංචාගේ කාලයේ වයින් කරලා තිබ්බ ජාතිවාදී අන්තවාදී ඇම්බැට්ට ‘බයියො පුංචලා’ ටිකට මේ සිද්ධියත් එක්ක ආයෙමත් ඔළුව උස්සන්න හදන බවක් පෙන්නුම් කරන්න ගත්තා.

සිද්ධියේ නිධාන කතාව වුණේ අධිකරණ තීන්දුවක්. ලොකු පුංචගෙ කාලයේ වැදගත් නඩු තීන්දු දෙන්නේ ලොකු පුංචගෙ මන්දිරෙන් එන ටෙලිෆෝන් කෝල් එකකට පස්සේ කියලා අඹ ගහ යට පුංචලා හැමෝම දන්නවා. ඒත් සිරිපුංචගෙ කාලෙ එහෙම නෙවෙයි. සිරිපුංචත් තමන් උන්නද මළාද කියලවත් සද්දයක් දාන බවක් පේන්නේ නෑ.

කොහොම කොහොම හරි සිද්ධිය වුණේ ලොකු පුංචගෙ කාලෙ දාපු නඩුවක්. නඩුවට නිමිත්ත වෙලා තිබුණේ තල්ගහ යට පුංචලාට විරුද්ධව යුද්ධ කරපු කාලේ කුඩා දරු පුංචලා දෙන්නෙකුත් එක්ක අහිංසක පවුලක 8 දෙනෙකුගේ බෙල්ල කපලා මරාදැමීමයි.ඉතිං මේ සිද්ධියෙන් සොල්දාදු පුංචලා 4 දෙනෙකුට විරුද්ධව නඩුව විභාග වෙලා වෙලා ගිහින් ඊයේ පෙරේදා සිරිපුංචගෙ කාලෙ තමයි තීන්දුව ලැබුණේ.

අර 4 දෙනාගෙන් තුන් දෙනෙක්ම නිදොස් කොට නිදහස් වෙලා එක සොල්දාදු පුංචකුට විතරක් මරණ දඬුවම හිමිවුණා. දැන් ලොකු පුංචගෙ ‘බයියො පුංචලා' නිදහස්වුණු සොල්දාදු පුංචලා තුන්දෙනා ගැන වචනයක් වත් නොකියා දඬුවම් හිමිවුණු පුංචා ගැන විතරක් සද්දයක් දාන්න පටන් අරන්. අඩුම ගානෙ මුන්ට නඩු දැම්මෙ ලොකු පුංචගෙ පාලනය කියලවත් බයියො පුංචලාට මතකයක් නෑ.

කොහොම වුණත් දැන් බයියො පුංචලා මේ අධිකරණ තීන්දුවට විරුද්ධව උද්ඝෝෂණ තියන්න පටන් අරන්. කොහොම වුණත් උසාවිවලට ගල් ගස්සපු, තමන් කැමති තීන්දු නොදෙන විට අටපාස් නැති වංශ පුංචලා විසින් නඩු අහලා අගවිනිසුරු පැංචිත් ගෙදර යවපු, විනිසුරු පුංචලාට ටෙලිෆොන් කෝල් දිදී තර්ජනය කරපු ලොකු පුංචලාගේ කාලය ගැන වැඩිදෙනකුට තාම මතකයි.

ඒත් ඉතිං මේ සිද්ධිය අඹ ගහ යටට තදින් දැනෙනවා. ආයෙමත් මහ කතිර තරගයත් පටන් අරන් හින්දා දැනිල්ලේ උණුසුම වැඩියි. ඒ හින්දා අඹ ගහ යට පුංචලා පැංචිලා ටික මෙදා සැරේ මේ ගැන තීන්දුවක් ගන්න රැස්වුණා.

“අපි මේ තීන්දුවට සම්පූර්ණයෙන් විරුද්ධයි. ‍ලොකු පුංචා හිටිය නම් මෙහෙම වෙන්නේ නෑ කවදාවත්? අපේ රට බේරලා දුන්නු රණවිරුවෝ" ගප්පි පුංචා නාහෙන් අඬන්න වුණා.

“එතකොට අර ඒ යුද්දෙට නායකත්වය දුන්නු ඒ වෙනුවෙන් ජීවිතය පවා අහිමිවෙන්න ගිය ෆොනී පුංචා බොරු චෝදනා ගොන්නක් දාලා හිරේ දැම්මේ" රතු පුංචා ඇහුවා.

“ඒ ඉතිං ලොකු පුංචට විරුද්ධ වුණු හින්දනේ" ගප්පි පුංචා ගාණනට නොගෙන කීවා.

“ලොකු පුංචට විරුද්ධව දේශපාලන අදහසක් දැරූ හේතුවට නීතිය අතට අරන් ඔච්චර දෙයක් කළා නම් කිසිම විදිහක නීතියට ඇඟිලිගැසීමක් නැතිව දුන්නු මේ වගේ නඩු තීන්දුවක් ගැන ඔහොම කතා කරන්න තියෙන සදාචාරාත්මක අයිතිය මොකක්ද?" සුදු පුංචාටත් කේන්ති ගිහින් එහෙම ඇහුවා.

“අවුරුදු පහක පුංචි එකෙකුයි අවුරුදු 15 ක පුංචි එකෙකුයි එක්ක මුළු පවුලක් බෙල්ල කපලා මරාදාන එක උඹලගෙ සිංහල-බෞද්ධ කමට විරුද්ධ නැද්ද?" දුඹුරු පුංචා ඇහුවා.

“අපෝ නෑ. අංගුලිමාලත් සිය ගාණක් මරලා ඇඟිලි කපලා පස්සේ රහත් වුණානේ. ඒ වෙලාවෙ කරන්න ඕන දේ කරලා පස්සේ ගොඩයන්න පුළුවන්" ගප්පි පුංචා කියලා දැම්මා.

ගප්පි පුංච‍ගෙ ඒ කතාවට කහපුංචාට හොඳටම කේන්ති ගියා. ආගම දහමත් තමන්ගේ දේශපාලන වාසියට හරවාගෙන බොරු කියමින් රටක් සමාජයක් නොමඟ යැවීම කොයි තරම් කැත පුරුද්දක්ද? ජනතාවගෙන්ම සීය ගාණෙ සල්ලි ගරලා පුංචි කතිර තරගයෙන් අඹ ගහ යට පුටුවකට ඇවිත් ඒ ජනතාවටම කොකා පෙන්නීම මොන තරම් තිරිසන් ගතියක්ද කියලා කහපුංචා රැස්ව සිටි අයට පෙන්නලා දුන්නා.

ඊට පස්සේ ගප්පි පුංචා හීන්සැරේ එතනින් මාරුවුණා. “දැන් ඉතිං මේ නඩු තීන්දුවට විරුද්ධ අය ඉන්නවනම් තැන තැන උද්ඝෝෂණ කරන්නේ නැතිව මේ නඩු තීන්දුවට විරුද්ධව ඉහළ උසාවියට ඇපෑලක් ගොනු කරන්න පුළුවනිනේ?" සිරි පුංචා හැමෝගෙම මුහුණු බලමින් ඇහුවා.

“ඒක ඇත්ත. ඒ වුණාට මේ අයට ඕන කරලා තියෙන්නේ මරණ දඬුවම හිමිවෙච්චි කෙනා වෙනුවෙන් දෙයක් කරන්න නෙවෙයි. ඒ පුංචවත් විකුණගෙන කාලා මේ කතිර තරගෙන් ටිකක් හරි ගොඩයන්න" රතු පුංචා පැහැදිලි කළා.

ඔන්න ඔය වෙලාවෙ අබරං සීයා හැරමිටියත් බිම ඇන ඇන එතනට ආවා. හැමෝම එහාට මෙහාට වී අබරං සීයාට තැන දුන්නා. සිරිපුංචත් ඉක්මනට ‍පුටුවක් ගෙනත් අබරං සීයට වාඩිවෙන්න දුන්නා.

“මෙහෙමයි ළමයිනේ. රණවිරු පුංචලා මේ රටට කළ සේවය අමතක කරන්න බෑ. මේ එකෙක් දෙකෙක් අලුගුත්තේරු වැඩ කරලා ඒ රණවිරු පුංචලාගේ නම කැත කරනවාටයි අපි විරුද්ධ වෙන්න ඕන. එහෙම නම කැත කරලා මේ රටම ලෝකෙ දහජරා පුංචෝ ඉන්න රටක් කියලා ලෝකෙ ප්‍රසිද්ධ වෙන්න දෙන්න නරකයි.

රටේ නම තියාගන්න ඔය වගේ උන්ට උපරිම දඬුවම් දෙන්න ඕන. එහෙම දඬුවම් දෙන්න එපා කියලා නීතිය හෑල්ලුවට ලක්කරන පුංචලාටත් තරාතිරම නොබලා දඬුවම් දෙන්න ඕන” අබරං සීයා කියා සිටියා. සිරිපුංචා ඈත බැලුවා. මුලදී ඉඳලා ටික වෙලාවක් යද්දී අතුරුදහන් වුණු ගප්පි පුංචා ඈතින් ආයෙමත් මතුවුණා. සිරිපුංචා ගප්පි පුංචට කතා කරලා අබරං සීයා කීව දේ පැහැදිලි කළා.

“අනේ අපට දඬුවම් දෙන එක අනිර්වාර්යෙන්ම කැතයි. අපි මේ රටට වීරයෝ හඳුන්වලා දෙන ජාතික වගකීම තමයි ඉටු කරන්නේ?" ගප්පි පුංචා කීවා.

“දැන් කවුද මීට ඉස්සරලා හඳුන්වලා දුන්නු ජාතික වීරයෝ?" සිරි පුංචා ඇහුවා.

“ඇයි අනේ අර උගුරැස්සෙ සභාපති පුංචා. එයා ගෑනූ ළමයි සීයක් දූෂණය කරලා ඒකට පාටියකුත් දැම්මානේ. පස්සේ ඒ පුංචා ටික දවසකට හිරේ දැම්මම අපි ඒකට විරුද්ධ වෙලා එයා ජාතික වීරයෙක් කියන එක පෙන්නන්න උද්ඝෝෂණ කළානේ." ගප්පි පුංචා මතක් කළා.

“ආ..ඔව්.ඔව් මතකයි මතකයි" අබරං සීයා ඔළුව හෙළෙව්වා.

“අපිට වීරයෝ නෑනේ ආයුබෝවං. අපි වගේ අයට දැන් කාලේ ඔය වගේ වීරයෝ මිසක් ඉතිං අල්ලපු වැටේ ගාන්ධිලා, නේරුලා, චන්ද්‍ර බෝෂ්ලා වගේ වීරයෝ නෑනේ?" ගප්පි පුංචා අනුකම්පාව දිනාගන්නා ස්වරයෙන් ආයෙම කියා සිටියා.

“ආ..ඒකයි මේ?" සිරි පුංචත් ඔළුව වැනුවා.

හිච්චි බුවා

[email protected]


නව අදහස දක්වන්න