විප්ලවවාදියකුට ගැයුණු ගී | දිනමිණ

විප්ලවවාදියකුට ගැයුණු ගී

 පහුගිය ජූනි විසි වෙනිදා අපූරු සැමරුම් උත්සවයකට සහභාගි වීමේ භාග්‍යය මට හිමි වුණා. මේ සැමරුමේ තිබුණු අපූර්වත්වය තමා කවි ගායනා මඟින් සැමරුමට ලක් කළ චරිතය ඇගයීමට ලක් කිරීම. කවි ගායනයෙත් විශේෂත්වයක් තිබූ බව මෙහිදී සඳහන් කරන්න ඕනෑ. මෙරට සාහිත්‍ය ක්ෂේත්‍රයේ කැපී පෙනෙන සිංහල දෙමළ හා මුස්ලිම් කවි කිවිඳියන් විසින් මේ කවි ගායනා ඉදිරිපත් කරනු ලැබීමයි ඒ විශේෂත්වය.

මෙසේ සැමරුමට ලක් කෙරුණේ සුළුපටු චරිතයකුත් නෙවේ. ඒ විශිෂ්ට චරිතය වූ කලී මෑත ඉතිහාසයේ ලෝක දේශපාලනයේ රන් අකුරින් ලියවුණ විප්ලවවාදියෙක්. ලෝක බලවතා ලෙස එදත් අදත් කිරුළු දරා සිටින අමෙරිකන් අධිරාජ්‍යය සෙලවූ විප්ලවවාදියෙක් හැටියට මෙතුමා හැඳින්වීම තමා වඩා නිවැරැදි. මේ වන විට ඔබ හඳුනාගෙන ඇති මා කතා කරන්නේ කවුරුන් ගැනද කියා. එතුමා තමා අසහය විප්ලවවාදි නායක හෝ චි මිං.

ඓතිහාසික වියට්නාම් විප්ලවයේ නියමුවා වන හෝ චි මිං යනු හුදු විප්ලවවාදියෙක් පමණක් නොවේ. එතුමා විප්ලවවාදි කවියෙක්. වියට්නාම් විප්ලවය සඳහා ජනතාව පෙළගස්වද්දී හෝ චි මිංගේ විප්ලවීය කවි ජනතාවගේ දේශප්‍රේමිත්වය වගේම සටන්කාමිත්වයත් කුළුගන්වන ගිනිසිළුවක් බවට පත් වුණා. ඒවා ප්‍රකෝපකාරි සටන් පාඨ නොව ජනතාව තුළ දේශපාලන පන්නරය ඇති කරන සැබෑ විප්ලවීය කවි වීම නිසා වියට්නාම්වරුන්ට ඒවායින් මනා අධ්‍යාපනයක් ලැබුණා.

ඉතින් මෙබඳු උදාර චරිතයක් ඇගයීමට ලක් කිරීමට පියවර ගැනීම පිළිබඳව ඊට උර දුන් ජනතා ලේඛක පෙරමුණටත් වියට්නාම් තානාපති කාර්යාලයට හා කොළඹ මහජන පුස්තකාලයේ පුස්තකාලාධිපතිනියටත් අපගේ ස්තූතිය පළ කරන්න කැමතියි. මෙසේ හෝ චි මිං අනුස්මරණය කිරීමට නිමිත්ත වූයේ මේ වසරේ ජූනි මාසයට යෙදුණු හෝ චි මිංගේ එකසිය විසිපස්වන ජන්ම සංවත්සරය යි. ජනනායක හෝ චි මිංගේ උඩුකය ප්‍රතිමාවක් කොළඹ මහජන පුස්තකාල පරිශ්‍රයේ පිහිටුවා තිබෙන බව හුඟ දෙනෙක් දන්නේ නැහැ. එම ප්‍රතිමාව අභියසයි සැමරුම් කවි ගායනය සිදු කිරිමට මුලින්ම යොදාගෙන තිබුණේ . නමුත් මේ දවස්වල පවතින අයහපත් කාලගුණය නිසා ඒ අදහස අතහැර පුස්තකාල ශාලාව ඇතුළේ සැමරුම පවත්වන්නට පියවර ගත්තා.

මෙබඳු වෙනස් මාදිලියක සැමරුමක් හෝ චි මිං වෙනුවෙන් සිදු කිරීමට පියවර ගත්තේ සම්ප්‍රදායික උපහාරයක් එවන් විප්ලවවාදියකුට උචිත නොවන නිසා ය කියලයි අරමුණ පැහැදිලි කරමින් සංවිධායකයන් වෙනුවෙන් කතා කළ ජ්‍යෙෂ්ඨ ලේඛක ගුණසේන විතාන පැවසුවේ. බොහොම තරුණ වගේම ඉතා පියකරු නව වියට්නාම් තානාපතිනී පාම් කියු තූ මෙනවියද ආකර්ෂණීය කතාවක් කළා. කවි ගැයුම් ඇරඹුණේ ඉනික්බිතිවයි. ශ්‍රී ලාංකීය කවි කිවිඳියන් වෙනුවෙන් මුලසුනට ඇරයුම් ලැබ සිටි ප්‍රවීණ කිවිවරයන් වන ආරියවංශ රණවීර හා වෛද්‍ය ජින්නා ෂෙරිෆ්ඩීන් කෙටි අදහස් දැක්වීමක් කළාට පසුව සභාවේ සිටි කවීන්ට සිය නිර්මාණ ඉදිරිපත් කිරීමේ අවස්ථාව උදා වුණා. කල්ඇතිව සූදානම්ව පැමිණ සිටි කවි කිවිඳියන් සිංහල දෙමළ මෙන්ම ඉංග්‍රීසි භාෂාවෙන් ද කවි ගායනා කිරීම වියට්නාම් තානාපතිනිය ඇතුළු ඇගේ කාර්ය මණ්ඩලයේ සාමාජිකයන්ගේ හා උත්සව සභාවේ අසුන්ගෙන සිටි සැමගේම සිත් පැහැර ගත්තා. හෝ චි මිං කවියාගේ ඉතා ප්‍රකට කාව්‍ය සංග්‍රහයක් වන සිරගෙදර සිට ලියූ කවි කෘතිය සිංහලට නැඟූ කරුණාතිලක හඳුන්පතිරණ කවියා සිරකරු දැකීමට බිරිඳ එයි නම් කවිය ඉදිරිපත් කරද්දී කවියකු විප්ලවවාදියකු ලෙස හෝ චි මිං සතුව පැවති මානව දයාව මොනවට පැහැදිලි වුණා. දෙමළ කවීන් අතර නමක් දිනා සිටින මේමන් කවී හා ඊලා ගනේෂ්ගේ ගායනා ද ප්‍රාසාංගික ගුණයකින් අනූණ වීම කාගෙත් පැසසුමට ලක් වුණා. සුනන්ද කරුණාරත්න කලා විශ්වනාදන් පුෂ්පරාණි වික්‍රමරත්න ආදි කවි කිවිඳියන්ද මෙහිදී කවි ගායනා කිරීමට ඉදිරිපත් වූ සෙසු කවි කවිඳියන් අතර සිටියා.

කොහොම වුණත් මේ පුංචි හමුව ලොව පහළ වූ විශිෂ්ට ජන නායකයකුට උපහාර පිදීමට අමතරව කවිය ඔස්සේ වාර්ගික එකමුතුකම හා නව නිර්මාණ ඉදිරිපත් කරන්නට දැරූ අත්හදා බැලීමක් ලෙස ද අගය කිරීම වටිනවා. උත්සවය නිමාවේ දී සහභාගිවූවන් වෙනුවෙන් අදහස් දැක්වීමට එක් වූ ප්‍රවීණ ලේඛක සිරිසේන විතානගේ වෙසෙසින් කියා සිටි ළමා වියේ පටන්ම දේශයේ දරුවන්ට සිංහල දෙමළ භාෂා දෙක ඉගැන්වීමට පියවර ගැනීම මගින් අනාගත සමාජය අදට වඩා යහපත් එකක් කළ හැකිය යන අදහස වගකිව යුත්තන්ගේ අචධානයට යොමුවීම ද වැදගත්.

කමල් පෙරේරා

[email protected]


නව අදහස දක්වන්න