පුංචි නපුරෝ... | දිනමිණ

පුංචි නපුරෝ...

 කොතෙකුත් වැස්ස ම පිදූ වැහි වලාවෝ ඈතට ඈතට තල්ලු වී යමින් අහසේ අඳුර මකාලයි. මේ දැන් සෝදා ඔපලූ නිල් රෙදි කඩක් මෙන් බබළන අහස යට තෙතබර පොළොව මත වැසි දියෙන් තෙමි තෙමී නමා වැටුණ අතු ඉති ඉමහත් උද්‍යෝග‍යෙන් ඉහළට නැ‍ඟෙයි. හිරුට වඩින්නැයි ආරාධනා කරන කලෙක මෙන් තොරතෝංචියක් නැතිව නද දෙන කුරුලු කොබෙයියෝ නිදිබර මල් පොහොට්ටු ඇහැරවන්නට වෙර දරති. ඉතින් අර අහසත් මේ මහපොළොවත් අතර සලිත වන ජීවය කෙරෙහි උපදනා නොනිම් බැති පෙමින් මම පිරී ඉතිරී යමි. තවම තෙත බර උඳුපියලිය බිස්ස මත ඇවිද යන කල නිරුවත් පතුල් නොමඳ සිසිලසින් සැනහෙයි. නිල් කොබෙයි යුවළක් ජෑම් ගසේ අතු පතර ලැග ඉඳුණු ගෙඩි සොයති.

දරුවන් නැති ගෙදර පාළුව මකාන කුරුල්ලෝ ද කොතෙකුත් ඒ මේ අත ඇදී යන තඩි ගැරඬියා ද මාළු පොකුණට හීන් සිරූවේ ළං වන කබරගොයා ද නිමක් නැති කුරා කුහුඹුවන් ද බැති පෙමින් සිහි කරමින් මම මධ්‍යාහ්නය ට මුහුණ දෙමි. දහ දියෙන් දුහුවිල්ලෙන් කිළුටු වූ කොලු පැටවුන් ආදරයෙන් ද කරුණාවෙන් ද පිළිගත යුතුය.

“කොහෙද මේ...? ගෙදරට කියල ද ආවෙ...? යන්න යන්න ...ඉක්මනට ගෙදර යන්න. ගෙදර මිනිස්සු බය වෙනව නෙ ළමයා ඉස්කෝලෙ ඇරිලා එන්න පරක්කු වෙනකොට...”

දරුවන් ගේ පියාගෙ සැර පරුෂ හඬ කා වෙනුවෙන් ද? බත් බෙදිල්ල මඳකට නතර කළ මම ඉස්තෝප්පුවට දිව්වෙමි.

දහදිය රූරා වැගිරෙන මුහණින් බලා සිටියේ කුඩා කොලුවෙකි. ගුරු පාරේ පෙරළුණ කලෙක මෙන් ඔහු හැඳ සිටින සුදු කමිසය අපවිත්‍ර වි තිබේ. නිසි කලට නොකෑපු කොණ්ඩය ඔහුගේ ළමා පෙනුම සැහැසි ලෙස උදුරා ගනියි.

“යන්න... යන්න ගෙදර යන්න’ තවත් රස්තියාදු වෙන්නෙ නැතුව...”

වැඩුණු මිනිසකු අබියස අන්ත අසරණ වූ දරු පැටියා වෙනුවෙන් මම වහා කතා කළෙමි‍.

“එහෙම යන්න පුළුවන්ද? බත් ටිකක් කාල ඉමු. මේ දරුවට දැං හොඳටම බඩගිනිත් ඇති”

“මං දන්නෑ ඕන එකක් කරගන්නවා”යි කෝපයෙන් කී මගේ සැමියා අප වෙතින් ඉවත් විය.

“ඔයා අම්මට කීව ද මෙහෙ එනවා කියලා?”

නිවුන් පුතුන්ගේ පංතියේ ඉගෙනුම ලබන ළමයා මට අමුත්තෙකු නොවේ.

“අම්මා තමා කීවේ ට්‍රිප් එක යන්න දෙන්න සල්ලි අම්මා ළඟ නෑ... නැන්ද ළඟටවත් ගිහිල්ල බලන්න කියල...”

අනපේක්ෂිත පලවා හැරීමකට ආසන්න වූ ඔහු තැතිගෙන සිටියි.

“හරි හරි අපි ඉස්සෙල්ලම කාල ඉම්මුකෝ...”

ඔහුගේ මිතුරන් වන මගේ පුතුන් ඉදිරියට නොපැමිණෙන්නේ මන්දැයි මම කල්පනා කළෙමි.

“චුටි පුතා...පුංචි පුතා මේ බලන්නකෝ ඔයාලගේ යාළුවෙක් ඇවිල්ලායි හඬ ගෑව ද ඔවුන්ගෙන් කිසිදු ප්‍රතිචාරයක් නොලැබිණ. පාසල ඇරී ගෙදර ආ හැටියේ සැඟව සිටින්නේ කුමක් නිසා දැයි සිතමින් මම ආගන්තුක දරුවා අත බත්පතක් තැබුවෙමි.”

ජනේලයෙන් එබී බැලූ නිවුන්නු අත් වනා පිටතට එන්නැයි කතා කළ විට මම පුදුමයට පත් වීමි.

“මොකද මේ දෙන්නා මේ හැංගිමුත්තං කරන්නේ?”

ඔවුන් වෙත ගිය මම නෝක්කාඩු බැල්ලමක් හෙළුවෙමි.

“අම්මා සුමිත්ට ට්‍රිප් එක යන්න සල්ලි දෙනවද?”

ඒ දීපතිමත් නෙත්වල තියුණු බැල්ම මට විඳ දරාගත නොහැකි තරම් ය.

“මේ දවස්වල නම් මටත් සල්ලි අමාරුයි තමා. ඒ වුණාට ඉතිං සුමිත් යන්න ආසනම් එයාගෙ අම්මට සල්ලිත් නැත්තං අපි මොනා හරි කරන්න ඕන නේද?”

මා පහත් හඬින් කතා කරන්නෙ ආහාර ගන්නා ළමයාට නොඇසෙන ලෙසිනි.

“ඕන කෙනෙක් දුක කියාගෙන ආවොත් ඉතිං අම්ම බලා ඉන්නෙ පිහිට වෙන්න”

චුටි පුතා කෝපයෙන් පසුවන බව දුටු මා සිනා මැඩගත්තේ වෑයමෙනි.

“අපිටත් කොච්චර අඩුපාඩු තියෙනවද? ඒ වුණාට අම්මට

අපට වඩා ලොකු පිට ළමයි”

පුංචි පුතා ද එක එල්ලේම මට චෝදනා කළේ ය.

“මොකද මේ? ඔයාලා දෙන්න ඇයි මේ තරහෙං? ඔයාලගේ යාළුවෙක් මගෙන් උදව්වක් ඉල්ලගෙන ආවා. ඉතිං ඒකට ඔය තරම් තරහ ගන්න ඕනද?”

සැබැවින්ම මම පුදුමයට පත් ව සිටියෙමි.

“නෑ නෑ...එයා අපේ යාළුවෙක් නෙමේ”

“හැටි විතරක්... කොණ්ඩෙ වවාගෙන, දාඩිය පෙරාගෙන, ළඟින් යන්න බෑ. කුණු කූඩයක් වගේ...”

මම මගේ හිතුවක්කාර කොල්ලන් දෙදෙනා ඇදගෙන වෙනතකට ගියෙමි. කුස ගිනි නිවාගන්නා ආගන්තුක දරුවාගේ දෙකනට මේ අමිහිරි වදන් පතිත වනු ඇතැයි සැකයෙනි.

“මම හිතුවෙ ඔයාලා හරිම කරුණාවන්තයි කියලා. ඒ ළමයා හුඟාක් දුප්පත්. ඇයි පෙනුමෙන් මනින්නෙ කෙනෙක්ව? ඉස්කෝලෙ ඉඳලා මෙහාට බයිසිකලේ පැදගෙන ආවම දාඩිය දාන්නෙ නැද්ද? ඔය තරම් නපුරු වෙන්නෙ කොහොමද ඔයාලා.?”

බඩපිස්සා මගේ අත ගසා දැම්මේ ය.

“යන්න යන්න ගිහිල්ලා එයාව ඉඹින්න. අපි ඉතිං නපුරු යිනෙ...”

මා සුමිත් වෙත ගියේ අන්දමන්ද වූ එකියක මෙනි.

“පුතා එහෙනම් පරිස්සමට ගෙදර යන්න. ට්‍රිප් එක යන්න සල්ලි බඳින අන්තිම දවස සිකුරාදානේ. මම එදාට ඉස්කෝලෙට එන්නං...”

“මම ගිය සතියෙත් හැමදාම බලා හිටියා නැන්දා ඉස්කෝලෙට එනකං...”

“ඉස්සර වගේ මට නිතර එන්න වෙන්නෙ නෑ පුතේ, ඒත් මම සිකුරාදාට එන්නං...”

පිට ව යන මිතුරාගෙන් සමුගන්නට නිවුන් පුතාලා නොපැමිණිය හ .

“අර දෙන්නට කියන්න නැන්දෙ මං ගියා කියලා...”

“හරි පුතා. මං කියන්නම්, ඒ දෙන්න වත්ත පහළට යන්න ඇති”

“නැන්දා ඇත්තටම එනවනෙ ඉස්කෝලෙට...?” ඔහු ඇසුවේ ආයාචනාත්මක බැල්මක් එක්කයි.

මම හිස වැනුවෙමි.

“එනව වස්තුවේ. ඔයා බයවෙන්න එපා ඔයාට ට්‍රිප් එක යන්න පුළුවන්...” යි සැනසුම් බස් තෙපලමින් ඒ කොලු පැටවා වැලඳගන්නට මට උවමනා විය. එහෙත් කොතැනක හෝ සැඟව බලා සිටින එක් බඳු කොල්ලන් දෙදෙනා සිහි කළ මා සිනාවක් පෑවා පමණි. මා ඔවුන්ගේ මිතුරාට සෙනෙහස පාන අයුරු දුටුවහොත්

ඔවුන් කෝපයෙන් පුපුරා හැලෙනු නිසැකය.

“දැං එතකොට අම්මා ඇත්තටම ඌට සල්ලි දෙනවද?

නිවුන් පුතුන් මා වෙත දිව ආවේ මෙලෝ සිහියක් නැතිව ය.

“කෝ ප්‍රිය වචන..? ඌ මූ කියල කියනවද තමන්ගේ පංතියේ තමන් එක්ක එකට ඉන්න ළමයෙකුට...”

“අම්මා දන්නෙ නෑනෙ සුමිතගෙ කපටිකං...”

“අනේ මගේ පුචි නපුරෝ දෙන්නා...ඒ ළමයින්ට හුඟාක් අඩුපාඩු තියෙනවනේ. බඩු මුට්ටු විතරක් නෙමේ, ආදරෙත් අඩුපාඩු වෙන කොට නපුරු වෙනවා.... කපටි වෙනවා. ඒ හින්ද තමා එයාලට අපේ ආදරේ අනුකම්පාව හුඟාක් වටින්නෙ....”

මම හැකිතාක් මෘදු මොළොක් ලෙස පහදා දෙන්නට වැයම් කළෙමි.”

“හරි හරි අම්මා එයාට සල්ලි දෙනවද...?”

නිවුන්නු නොඉවසිලලෙන් ප්‍රශ්න කරති.

“අපි අයියලටත් කියල බලමුකෝ...”

රෑ නින්දට පෙර එකට එකතුව අපි අධ්‍යාපන චාරිකාව යාමේ ආශාවෙන් පෙළෙන ළමයා ගැන කතා කළෙමු.

“හොඳයි දැං මෙතන පස් දෙනාම ඉන්නවනේ. සුමිත්ට ට්‍රිප් එක යන්න සල්ලි දෙනවට කව්ද කැමති , කවුද අකැමැති?” යි මා ඇසූ සැණින් නිවුන්නු අත් එසව්වෝ ය.

“අපි කැමැති නෑ....”යි ඔවුන් එක හෙලාම එක හඬින් කී කල පොඩි පුතා කෝපයට පත් විය.

“තමුසෙලාට දුක නැද්ද පව් නේද...? පුංචි ළමයෙක්නෙ මොන තරම් ආසා ඇද්ද ට්‍රිප් එක යන්න?”

“ඉතිං පහේ පංතියෙදීත් අම්මනෙ ඒ ගොල්ලො තුන් හතර දෙනෙකුටම සල්ලි බැන්දෙ... තවත් එනව අම්මට කරදර කරන්න....?”

චූටි පුතා නොමනාපයෙන් කතා කළේ ය.

“මොනාද හලෝ... යාළුවෙක් නේද...? ගෙදර ආව වෙලාවෙත් තමුසෙලා මගෑර මගෑර හිටියා. මාර බඩු දෙකක් තමා...?

මද්දු පවා සුමිත්ට අනුකම්පා කළේ ය.

“ගෙදර ඉන්න තක්කඩි කොල්ලත් කැමැතියි‍. ලොකු පුතා මොකද කියන්නෙ?”

චූටි පුතා ඉඹින්නට මාන බලන ලොකු පුතා දෙස අපි බලා සිටියෙමු.

“පව් නේද අම්මේ...”

අත්පොළසන් හඬක් පැන නැඟිණ. අඳුරු වූ මුහුණින් යුතුව නිවුන් පුතුන් පැන දුවන කල හූ හඬ නැඟුවේ මද්දු විය යුතුය.

“හූ... හූ.... හූ...

ශාන්ති දිසානායක

[email protected]


නව අදහස දක්වන්න