ගං කුකුල්ලු බ්‍රොයිලර් කුකුල්ලු | දිනමිණ

ගං කුකුල්ලු බ්‍රොයිලර් කුකුල්ලු

ටොම්සන් මහත්තයා ඇම්බන් මහත්තයා එක්ක ගියේ මිත්‍රයෙක් හමු වන්නට ය. නගරයට ආසන්න ව ඉඩමක් ගෙන පදිංචි ව සිටි මිත්‍රයා අලුතින් ගෙයක් ඉදි කරමින් තිබිණි.

" හප්පේ... ටොම්සන් මහත්තයා දැකපු කාලයක්... එන්ඩ.. එන්ඩ.. ” කියා මිත්‍රයා ටොම්සන් මහත්තයාව පිළි ගත්තේ ය.

" මේ ඇම්බන් මහත්තයා... මගේ හොඳ යාළුවෙක්... ” කියා ටොම්සන් මහත්තයා ඇම්බන් මහත්තයාව මිත්‍රයාට හඳුන්වා දුන්නේ ය.

ඒ අතර ගේ මැද්දේ සිට කාරෙකක් දෑතින් පදවා ගෙන සාලයට ආවේ පුංචි දරුවෙකි.... වයස නම් අවුරුදු තුනකට වැඩි නැත.

" මාමා .. මට මොනාද ගෙනාවේ... ? ” කියා පොඩි පුතා ටොම්සන් මහත්තයා ළඟට ම ආවේ කාරෙක දෑතින් පදවමිනි.

" ඒක නේ කියන්නේ... හොඳ වෙලාවට මට මතක් වුණේ... මං ගෙනාවා පුතාට යෝගට්... යෝගට් කනවා නේ ද? ” කියා ටොම්සන් මහත්තයා අතේ තිබුණු බෑගයෙන් යෝගට් කිහිපයක් එළියට ගත්තේ ය.

" කනවා.. කනවා.. ඒ වුණාට මට යෝගට් දෙන්නේ නෑ නේ.. මාමා යෝගට් ගෙනාපු එක හොඳයි...” කියා පොඩි පුතා බොහොම සතුටින් කියමින් යෝගට් එකක් අතට ගත්තේ ය.

" එපා එපා.. පුතා.. අද යෝගට් කන්න එපා.. අපි ඕක ප්‍රිජ් එකේ දාලා තියමු ... පස්සේ කන්න..” කියමින් මිත්‍රයා බොහොම කලබලයට පත් ව යෝගට් බෑගය අතට ගත්තේ ය. ඒ හඬ අස්සේ ම මිත්‍රයාගේ බිරිඳ ද බොහොම කලබලයෙන් සාලයට ආවා ය.

" ඔව්.. ටොම්සන් මහත්තයා.. මෙයාට යෝගට් දෙන්නේ නෑ.. අයිස් ක්‍රීම් දෙන්නෙත් නෑ..” කියා බිරිඳ බොහොම විස්සෝපයෙන් කීවේ ය.

" ඒ මොකද ඒ ? ” කියා ටොම්සන් මහත්තයා පුදුමයෙන් ඇසුවේ ය.

" ඒ කියන්නේ ටොම්සන් මහත්තයා පුතාට සෙම.. සීතල කාපු ගමන් සෙම හැදෙනවා.. ”

" ඒකත් එහෙමද? එහෙනං සෙම නැති දවසක මේ යෝගට් ටික දෙන්න... ඉතින් පුතා... දැන් මේ මොකද කරන්නේ... ? ”

" මං මේ කාර්එක එලවනවා.. මාමට පේන්නේ නැද්ද? ” කියා පොඩි පුතා ඇසුවේ දෑතින් කාර් එකේ සුක්කානම කරකවමිනි.

" ඒක හොඳයි...” කියමින් ටොම්සන් මහත්තයා පොඩි පුතාව වඩා ගත්තේ ය.

" අපි යමු ද ටිකක් එළියට... ඇතුළේ ටිකක් රස්නෙයි වගේ.... ” කියා ඇම්බන් මහත්තයා නැඟිට්ටේ ය.

" ඔව්.. ඇම්බන් මහත්තයා.. අපි හැන්දෑවට ජනේලේ වහලා දානවා.. මොකද සීතල හුළඟ එනවා නේ.. පහු ගිය දා සීතල හුළඟ හින්දා පුතාගේ සෙම වැඩි වෙලා ඉස්පිරිතාලේ ගෙනිච්චා...දුම් ඇල්ලූවා.. අනේ මන්දා.. හරි කරදර.. ” කියා මිත්‍රයාගේ බිරිඳ කීවා ය.

" මාමේ .. අපි යමු සමනල්ලූ බලන්න... දැන් සමනල්ලූ ඇවිල්ලා ඇති.. ” කියා පොඩි පුතා ටොම්සන් මහත්තයාට කීවේ ය. ටොම්සන් මහත්තයා පුතා ද වඩා ගෙන එළියට යන්නට හැරුණා පමණකි.

" එපා.. ටොම්සන් මහත්තයා. එළියේ සීතල සුළඟ .. අනික් එක මේ දවස්වල හරියට දූවිලි... මං මේ ගේ ඇතුළෙත් දූවිලි නැති වෙන්න හොඳට අස් කරලා තියා ගෙන ඉන්නේ... ” කියා මිත්‍රයාගේ බිරිඳ යළි කීවා ය.

" නෑ.. ඒකට කමක් නෑ.... අපි ටිකක් එළියේ ඇවිදලා එන්නං... පුතාට සමනල්ලූ බලන්න ඕනැ නේ..” කියා ටොම්සන් මහත්තයා පුතා ද වඩා ගෙන එළියට බැස්සේ ය.

" එහෙනං ඉන්න ටොම්සන් මහත්තයා.. පුතාට මේ ස්කාප් එක දාන්න.. එතකොට හීතල හුළඟ වදින්නේ නෑ නේ... ” කියා මිත්‍රයාගේ බිරිඳ ගෙට දුව ගොස් මල් වැටුණු රෙදි කැබැල්ලක් ගෙනැවිත් පුතාගේ හිස වටේට ඔතා ගැටයක් ගැසුවා ය.

ටොම්සන් මහත්තයාත්, ඇම්බන් මහත්තයාත් පොඩි පුතා කැටුව මිදුලට බැස්සෝ ය. මිත්‍රයා ද මිත්‍රයාගේ බිරිඳ ද ඒ පසු පස ආහ.

" වැඩිය සීතල ගස්සන්න එපා ටොම්සන් මහත්තයා.. ” කියා මිත්‍රයා ද බිරිඳ ද කීහ.

" මාමේ.. අර සමනලයා ළඟට යමු.. මං හරි ආසයි සමනල්ලූන්ට.. කවුරුවත් මාව එක්ක යන්නේ නෑ නේ මිදුලේ සමනල්ලූ බලන්න.. ” කියා පොඩි පුතා මහත් සතුටින් සමනලයා අල්ලන්නට දෑත් දිගු කළේ ය.

" අනේ ටොම්සන් මහත්තයා... අපි යමු ගෙට.. මේ සීතල හුළඟ පුතාට හොඳ නෑ.. ” කියා මිත්‍රයා ද මිත්‍රයාගේ බිරිඳ ද පින්සෙණ්ඩු වූහ. ටොම්සන් මහත්තයා පුතා ද වඩා ගෙන ගෙතුළට ගියේ පුතාගේ කෑ ගෑම මැද්දේ ය.

තේ එකක් බීමෙන් පසු ටොම්සන් මහත්තයා ඇම්බන් මහත්තයා ද සමඟ මිත්‍රයාගේ ගෙදරින් පිටත් වූවෝ ය. ටොම්සන් මහත්තයා නිහඬ ව ගමන් කළේ ය.

" ඇයි ටොම්සන් මහත්තයා.. මොකක් හරි ප්‍රශ්නයක් ද? ” කියා ඇම්බන් මහත්තයා ඇසුවේ ය.

" ඔව්. ප්‍රශ්නයක් තමයි.. ඒත් ඒකට උත්තරයක් නෑ.. ” කියා ටොම්සන් මහත්තයා කීවේ ය.

" ප්‍රශ්නයක් නම් කියන්න.. අපි උත්තරයක් හොයන්න බලමු.. ”

" ඇම්බන් මහත්තයා දැකලා තියෙනවද බ්‍රොයිලර් කුකුල්ලූ....අර කූඩුවල දාලා, විටමින් දීලා, බේත් දීලා හදන්නේ.. ”

" ඔව් .. ඉතින් ? ”

" එතකොට ගං කුකුල්ලූ දැකලා තියෙනවද? ”

" ඔව්.. අර ගම්වල ඉන්නේ .. රෑට විතරයි කූඩුවට දාන්නේ..ඒකත් කලවැද්දෝ අල්ලා ගෙන කන හින්දා.. දවල් කාලෙම ඔහේ හැම තැනම ඇවිද ඇවිද මොනවා හරි හොයා ගෙන කනවා.. බොහොම නිදැල්ලේ හැදෙනවා.. ස්වාභාව ධර්මයත් එක්ක වැඩෙනවා.. ”

" ඒ වගේ තමයි.. දැන් හැදෙන්නේ බ්‍රොයිලර් ළමයි.. මොකක්ද ඒකට උත්තරේ... ” කියා ටොම්සන් මහත්තයා ඇසුවේ ය. ඇම්බන් මහත්තයා හිස කසමින් ටොම්සන් මහත්තයාගේ මුහුණ දෙස බැලූවේ ය.

බන්දුල පී දයාරත්න

[email protected]


නව අදහස දක්වන්න