ආර්ථිකයට වැදගත් සිදුවීම් දෙකක් | දිනමිණ

ආර්ථිකයට වැදගත් සිදුවීම් දෙකක්

කරුණාරත්න අමරතුංග

සවුදි අරාබියේ විශාලතම වෙළෙඳ ආයතනයක් වූ ගැම්මොන් ම්ඩ්ල් ඊස්ට් ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු ඩොලර් මිලියන 1.2 ආයෝජනය කිරීමට ඉකුත්දා කොළඹ දී එකඟතාවකට පැමිණියේය.

නිදහස් වෙළෙඳ කලාප ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම ආයෝජකයකු වන ගැම්මෝන් සමාගමයේ සභාපති ෂික් රාෆික් මොහමඩ් මහතා ශ්‍රී ලංකාවට පැමි‍ණ යෝජිත ආයෝජන ව්‍යාපෘතිය පිළිබඳව මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා සමඟ ද සාකච්ඡා කිරීමෙන් පසු මේ පිළිබඳ අවසන් තීරණයකට එළඹි බව වාර්තා වේ.

කොටස් වෙළෙඳපොළ හැසිරීම

• ඇමෙරිකානු ඩොලරය රුපියල් 130.00 සීමාවේ තබා ගැනීමට රජය කටයුතු කරන මෙම මුදල් ඇමැතිවරයා පාර්ලිමේන්තුවේ දී කියා සිටි අතර ඩොලරයේ වටිනාකම ඉහළ යෑම පිටරටින් ගෙන්වන ආහාර ද්‍රව්‍ය සඳහා වැඩිමිලක් වැය වීම බව ආනයනකරුවන්ගේ මැසිවිල්ලයි.

• රබර් සහනාධාරය මත රු. 350 ගෙවීමේ කටයුතු සඳහා රුපියල් මිලියන 2063ක් වැවිලි කර්මාන්ත අමාත්‍යංශයට ලබාදීමට ද භාණ්ඩාගාරය එකඟවී තිබේ.

• කොටස් වෙළෙඳ පොළ ද ගිය සඳුදා සහ අඟහරුවාදා සුළු වර්ධනයක් පෙන්නුම් කළද, පසුව සති අන්තය තෙක් පැවතියේ දුර්වල මට්ටමකය.

ගනුදෙනුකරුවන් හා ආයෝජකයන් නිහඬව බලා සිටීමේ පිළිවෙතක් අනුගමනය කිරීම මෑතක සිට කොළඹ කොටස් වෙළෙඳ පොළේ දක්නට ලැබෙන ස්වභාව යැයි රොයිටර් මූල්‍ය ප්‍රවෘත්ති සේවාව වාර්තා කළාය.

රටේ දේශපාලන ස්ථාවරත්වයක් ඇතිවනතුරු දිගටම කොටස් වෙළෙඳ පොළ මේ අයුරින් පැවතීමට ඉඩ ඇතැයි බ්‍රෝකර් සමාගම් වාර්තාවල සඳහන් වේ.

ලෝක තේ මිලේ කිසිදු වෙනසක් සිදුව නැත.

ජූලි මස මුල් සතියේ ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයේ කොචි නගරයේ දී ලෝක ගම්මිරිස් නිෂ්පාදක රටවල වෙළෙඳ සමුළුව පැවැත්වේ. එයට ශ්‍රී ලංකාව ද සහභාගි වේ. චීනය ද එවැනි සමුළුවක් පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇත. එයට ද සහභාගි වීමට ශ්‍රී ලංකාවට අවස්ථාව ලැබී තිබේ.

තායිලන්තය මැලේසියාව වියට්නාමය ලෝක ගම්මිරිස් වෙළෙඳාමේ ප්‍රධාන රටවල් වුවද මලබාර් වෙරළ සහිත කේරළය පුරාණයේ සිටම කුළුබඩු වෙළෙඳ මධ්‍යස්ථානයකි.

ශ්‍රී ලංකාවේ ගම්මිරිස් සඳහා හොඳ වෙළෙඳ පොළක් හා හොඳ මිලක් මේ අනුව ඉදිරියේදී ලැබේ යැයි විශ්වාසයක් පවතී.

නිදහස් වෙළෙඳ කලාප සංකල්පයේ නවතම ඉදිකිරීම් වූ ඩුබායි වෙළෙඳ කලාපය අනුව යමින් ශ්‍රී ලංකාවේ ව්‍යාපෘතිය ආරම්භ කිරීමට ගැම්මොන් සමාගම අදහස් කරයි.

අක්කර 700 (හත්සියයක්) විශාලත්වයෙන් යුත් මේ වෙළෙඳ කලාපය සඳහා නැ‍ඟෙනහිර ‍පළාතෙත් ඉඩම් ලබාදීමට ශ්‍රී ලංකා රජය කැමැත්ත පළකර ඇතැයි ගැම්මොන් සමාගම කියයි.

මුහුදු මාර්ග, ගොඩබිම් මාර්ග යන දෙආකාර ගමනාගමන පහසුකම් තිබීම මෙවැනි නවතම ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට වාසියක් බව පවසන එම සමාගම ආයෝජන ව්‍යාපෘති ආරම්භ කිරීමට සුදුසු පරිසරයක් හා වාසි රාශියක් ශ්‍රී ලංකාව තුළ තිබීම නිසා තමන් මේ ව්‍යාපෘතියට ශ්‍රී ලංකාව තෝරාගත් බව ද කියයි.

ගැම්මොන් සමාගම මහාමාර්ග සහ රෝහල් ඉදිකිරීම් ක්ෂේත්‍රයට ද සම්බන්ධව ශ්‍රී ලංකාවේ ඉදිකිරීම් සඳහා දායකවීමට අදහස් කරන අතර මේ සමාගමය 1919දී හොංකොං හි දී ආරම්භ කරන ලද්දකි.

බ්‍රිතාන්‍ය ජාතිකයනට අයිති සමාගමක් ලෙස ආරම්භ වුව ද පසුව එම සමාගමේ අයිතිය ඉන්දියා සහ සවුදි ආයෝජකයන් අතට පත්විය. ලොව ප්‍රධාන ‍රටවල් රාශියක පාලම් ඉදිකිරීමෙන් එම සමාගමය කීර්ති නාමයක් දිනාගෙන තිබේ.

ගැම්මොන් සමාග‍මේ ඕ. එම්. අබුබකර් මොහොම්මඩ් රසල්දීන් මහත්වරු ඇතුළු ඉහළ පෙළේ නිලධාරින් කණ්ඩායමක් ශ්‍රී ලංකාවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පුමුඛ කැබිනට් ඇමැතිවරුන් සමඟ මේ ව්‍යාපෘතිය පිළිබඳව සාකච්ඡා වාර කීපයක්ම පැවැත්වූහ.

යුද්ධය නිමා වී රටට සාමය උදාවූ පසු ශ්‍රී ලංකාවේ ආයෝජනය කිරීමට හා ව්‍යාපාර ආරම්භ කිරීමට ඉන්දියානු ව්‍යාපාරිකයන් රාශියක් බලාපොරොත්තුවෙන් සිටින බවත් ගැම්මොන් ව්‍යාපෘතිය ශ්‍රී ලංකාවේ ව්‍යාපාර හා කර්මාන්ත ආරම්භ කිරීමට අදහස් කරන ආයෝජකයන්ට දොරටුව විවෘත කිරීමක් බවත් ගැම්මොන් සමාගමය මෙවැනි වෙළෙඳ කලාප රාශියක් බොහෝ රටවල ඉදිකර තිබෙන අතර කිර්ගිස්ථානයේත් එකක් ඉදිකළා. මේ වෙළෙඳ කලාප වත්මන් වෙළඳ කලාප සංකල්පයේ නවතම අංගයන්ගෙන් යුක්ත යැයි ද රාෆික් මොහොමඩ් මහතා කියයි.

ඔහු කිර්ගිස්ථාන ආයෝජන කලාපයේ අධ්‍යක්ෂවරයෙක් ද වෙයි. ගල්ෆ් ටුඩේ පුවත්පත ගැම්මොන් - ශ්‍රී ලංකා ව්‍යාපෘතිය පිළිබඳ විස්තර වාර්තාවක් ද පළ කර තිබේ.

ඒ අතරතුර ශ්‍රී ලංකාවට පමණක් නොව පොදුවේ සමස්ත ‍ලෝක ආර්ථිකයටම බලපාන, නව ආර්ථික පෙරළියකට මඟපාදන, මූල්‍ය ක්‍රියාවලියක් ඊයේ චීනයේදී බිහිවිය. ශ්‍රී ලංකාව ද ඒ ක්‍රියාවලියට දායක වීම විශේෂ වැදගත් කමකි.

චීනයේ බීජිං නගරය කේන්ද්‍ර කැරගත් චීන යටිතල පහසුකම් ආයෝජන බැංකුව ක්‍රියාත්මක වීමේ නව පියවරක් ඊයේ ඇරැඹිණ. එම අවස්ථාවට රටවල් 57ක් එක්වීම මගින් මේ චීන යටිතල ආයෝජන බැංකුවේ (CHINA INFRSTRUCTURE INVESTMENT BANK) ශක්‍යතාව පැහැදිලි වේ.

පසුගියදා පැවැති කැබිනට් මණ්ඩල රැස්වීම්වල මුදල් ඇමැති රවි කරුණානායක මහතා යෝජනාවක් ඉදිරිපත් කරමින්, බීජිං නගරයේදී එම බැංකුවේ සාංගමික ප්‍රකාශනයට අත්සන් කිරීමේ අනුමැතිය ඉල්ලා සිටියේ ය. කැබිනට් මණ්ඩලය එම ඉල්ලීමට අනුමැතිය ලබාදුන්නාය. දැන් ශ්‍රී ලංකාව එම බැංකුවේ ප්‍රතිලාභ ලැබීමට සුදුස්සෙකි.

ආසියානු සංවර්ධන බැංකුව, ලෝක බැංකුව සහ අන්තර්ජාතික මූල්‍ය අරමුදල වැනි මූල්‍ය සංස්ථාවන් සමඟ කරට කර සිටීමේ අභිලාෂයෙන් මෙවැනි මූල්‍ය බලවේගයක් ඇරැඹීමට චීනය යෝජනා කෙළේ 2013 දීය. වසර දෙකක් තුළ චීනය රටවල් 57ක් සහාය කරගෙන එම බැංකු සැලැස්ම ක්‍රියාත්මක කිරීමට සමත්වූවාය. තවත් රටවල් එයට එක්වනු ඇත.

“බිස්නස් මිඩ්ල්ඊස්ට්” සඟරාව මේ බැංකුව පිළිබඳව ධනාත්මක ආකල්ප සහිත ලිපියක් හා විවරණයක් පළ කෙළේය. බැංකු ශක්තියේ බලය මාරුවීම නම් එම ලිපියෙන් කියා තිබුණේ ආසියානු සංවර්ධන බැංකුව සහ ලෝක බැංකුව සතුව තිබූ බලපරාක්‍රමයට මේ බැංකුව තර්ජනයක් බවයි.

ඊජිප්තුව, එක්සත් අරාබි එමීර් රාජ්‍යය, සව්දිආරාබිය, ක‍ටාර් රාජ්‍යය, ජෝර්දානය, ඕමාන් සහ කුවේට යන අරාබිකරයේ ධනවත් රටවල් මේ බැංකුවට ඍජු දායකත්වය සපයයි.

එසේම යුරෝපා සංගමයේ රටවල් 17ක් ද එයට දායකත්වය සපයයි. එහෙත් ඇමෙරිකාව සහ ජපානය ආරම්භයේ සිටම මේ නව මූල්‍ය බලවේගයට දැක්වූයේ තදබල විරෝධයකි.‍

ඇමෙරිකාව බටහිර රටවලට ආර්ථික ධර්ම දේශනා පවත්වමින්, මේ බැංකුව සාර්ථක නොවන බව කියා සිටියේය. එහෙත් මහා බ්‍රිතාන්‍යය ඇමෙරිකාවේ අදහස් සැලකිල්ලට ගත්තේ නැත. මේ වනවිට ප්‍රංශය, ජර්මනිය, මහා බ්‍රිතාන්‍යය, ඉතාලිය සහ පෘතුගාලය මේ ව්‍යාපෘතියට සම්බන්ධව සිටිති.

තායිවානය හවුල්වීමට කැමති වුවත් චීනය එයට ඉඩ දුන්නේ නැත. උතුරු කොරියාව අයදුම් කළ ද, එයට ද ඉඩක් දුන‍්නේ නැත. ඉන්දියාව, බංග්ලාදේශ සහ ශ්‍රී ලංකාව දැන් මේ නව ව්‍යාපෘතියේ රැකවරණය ලැබීමට සුදුසුකම් ලබා සිටිති.

එහි ආරම්භක මූලධනය ඇමෙරිකානු ඩොලර් බිලියන 100කි. මෙවැනි බැංකුවක් සක්‍රීය අන්දමින් පවත්වාගෙන යාමට අවශ්‍ය අද්දැකීම් හා පාලන කුසලතා චීනයට තිබේදැයි ප්‍රශ්න කරන බටහිර මාධ්‍ය, ලෝක බැංකුව ආසියා සංවර්ධන බැංකුව සහ අන්තර්ජාතික මූල්‍ය අරමුදල වැනි ආයතන දක්ෂ පරිපාලන රටාවක් අනුව මෙහෙයවනු ලබන ආයතන බව කියා සිටියේය.

එකී මතයට එරෙහිව කතා කරන්නෝ දැනට චීනය සතුව එවැනි අද්දැකීම් හා කළමනාකරණ ක්‍රියාකාරින් ඇතැයි පවසති. එසේම ඇමෙරිකාවේ විශ්වවිද්‍යාලවලින් අධ්‍යාපනය ලැබූ පිරිසක් දැනට චීනයේ ක්‍රියාකාරිව සිටින බවට ද තර්ක කරති.

බටහිර බැංකු හා ලෝක බැංකු ආයතන දැඩි මූල්‍ය විනයක් සහිත විනිවිද ගනුදෙනු අනුව කටයුතු කරන නමුත් චීන මූල්‍ය ආයතන තවම දැඩි ‍රාජ්‍ය බලයකට යටත්ව පවතී යැයි තව පිරිසක් කියති. ඔවුන් පවසන අන්දමට චීන මූල්‍ය ක්ෂේත්‍රය දැඩි දූෂිත තත්ත්වයක පවතී. බැංකුවේ මූල්‍ය කටයුතු මේ වසරේ ඇරැඹෙන නමුත් ආයතනයේ ලොකු පුටු සහ පාලනය සඳහා දැනටම කඹ ඇදිලි පවතී.

බංගලිදේශය හා ශ්‍රී ලංකාව වැනි කුඩා රටවලට මෙයින් අත්වන යහපත කුමක්දැයි විමසන්නෝද සිටිති.

ආසියාවේ ශ්‍රී ලංකාව ද ඇතුළු රටවල යටිතල පහසුකම් සඳහා වර්ෂයකට ඇමෙරිකානු ඩොලර් මිලියන 800ක් අවශ්‍ය වේ. මේ බැංකුව එවැනි රටවලට අඩු පොලියට ණය සපයන නමුත්, විදුලිය, දුරකතන, මහාමාර්ග වැනි පහසුකම් සැපයීමේ කොන්තරාත්තු චීන සමාගම් අතට ඩැහැගැනී‍මේ උපක්‍රමයක් නැතැයි කාට කිව හැකිදැයි තවත් ආර්ථික සඟරාවක් පසුගියදා ප්‍රශ්න කළාය.

මේ වැඩකටයුතු ඉතා කෙටි කාලයක් තුළ ක්‍රියාත්මක වීමෙන් එහි කාර්යක්ෂමතාව හෙළිවන බව චීනයේ මතයයි.

මෙවැනි විකල්ප මූල්‍ය ආයතනයකින් සංවර්ධනය වන රටවලට යහපත් ප්‍රතිඵල අත්කර ගතහැකි නිසා ඒ පිළිබඳ යෝජනාවක් මුල්වරට ඉදිරිත් වූයේ 2013 ඔක්තෝබරයේ දීය. 2014 ඔක්තෝබරයේ දී එහි මූලික කටයුතු නිමාවී 2015 දෙසැම්බරය වන විට එය ක්‍රියාත්මක වීමට නියමිතය.

ශ්‍රී ලංකාවට මේ බැංකුවෙන් ලබා ගත හැකි ප්‍රතිඵල කවරේද?

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ මාර්තු මස චීන සංචාරය අළලා ද හින්දු පුවත්පත මාර්තු 27 වනදා ලිපියක් පළකළාය. NEW SILK ROAD ව්‍යාපෘතිය සඳහා ශ්‍රී ලංකාවට මෙම බැංකුවෙන් ණය මුදල් ප්‍රදානය කිරීමට චීනය පෙළඹෙතැයි එම පුවත්පත කියා සිටියාය. එසේම මෙය ශ්‍රී ලංකාවට යටිතල පහසුකම් ලබාගැනීම සඳහා හොඳ අවස්ථාවකැයි ද එම පුවත්පත කියා සිටියාය.

ශ්‍රී ලංකාවට චීන ණය සහ ආධාර ලබාගැනීම පිළිබඳව විවිධ චෝදනා හා ප්‍රති චෝදනා අසන්නට ලැබුණි. විදේශ ඇමැති මංගල සමරවීර මහතාගේ පසුගිය ජපාන සංචාරය අළලා ඇතැම් මාධ්‍යය ගෙන ගිය ප්‍රචාරයකට විදේශ අමාත්‍යංශය පිළිතුරු සැපයුවේය.

එයට පාදක වූයේ ද රජයේ විදේශ ප්‍රතිපත්තිය යි. චීන ව්‍යාපෘති හා ආධාර පිළිබඳව රජය අඩු තක්සේරුවක් කරන බව ඇඟවීම එම මාධ්‍යයන්හි අරමුණ විය.

පසුගිය 17 වනදා කැබිනට් මණ්ඩල රැස්වීමේදී මහාමාර්ග දියුණු කිරීම සඳහා චීන සංවර්ධන බැංකුව විසින් සපයන ලද අමෙරිකානු ඩොලර් 100 මුදල් පිළිබඳව සාකච්ඡා විය. එම මුදලින් මාර්ග සංවර්ධනය කරන අන්දම පිළිබඳව ඇමැති කබීර් හෂීම් මහතා විසින් කරන ලද යෝජනාවට කැබිනට් අනුමැතිය ලැබිණි.

චීන ණය හා ආධාර පිළිබඳව රජය ඒ අයුරින්ම ක්‍රියාත්මක වෙයි. මෙතෙක් චීන EXIM එක්සිම් බැංකුවෙන්, චීන සංවර්ධන බැංකුවෙන් ණය ලබාගත් රජයට ඉදිරි සංවර්ධන වැඩ හා විශේෂයෙන් යටිතල පහසුකම් සඳහා අවශ්‍ය ණය ලබාගැනීමට නවතම බැංකුවක් ලැබීම එක අතකින් ශ්‍රී ලංකාවට වාසියකි.

අමෙරිකාවේ විරෝධය නොතකාම ඊශ්‍රායලය ද මේ චීන බැංකුවට එකුතුවීමට ක්‍රියා කෙළේය. ඊශ්‍රායලය එමගින් ගුවන් තොටුපළ ප්‍රතිසංස්කරණයට සූදානම් වේ.

ආසියාවේ කුඩා රටක් වන බංග්ලාදේශය දශම 6ක මුලධන දායකත්වයකට ද ඉන්දියාව සියයට 8.4ක දායකත්වයක් ද චීනය සියයට 29ක දායකත්වයක් ද සපයන නව බැංකුවට චෙක් ජනපදය වැනි යුරෝපීය කුඩා රාජ්‍යය ද දායකත්වය සපයයි.

මේ මූල්‍ය ආයතනය ලෝක මූල්‍ය ක්ෂේත්‍රයේ බලය මාරුවීමක් යැයි මිඩ්ල්ඊස්ට් ව්‍යාපාර සඟරාව පළකළ අදහස් මේ අනුව සත්‍යවේ. දැන් මේ සතියේ සිට ලෝකයට නවතම මූල්‍ය බලවේගයක් හිමිවේ.


නව අදහස දක්වන්න