බුදු රුව නෙළන දිරිය කත ශ්‍රීමාලී | දිනමිණ

බුදු රුව නෙළන දිරිය කත ශ්‍රීමාලී

දිස්නා අල්විස්

 බුදු රුව දැකීම තරම් කෙනකුට තවත් සැනසුමක් නැත.එය ඒ තරමට ම මිනිසුන්ගේ ජීවිත පහන් කෙරුමට සමත් ය. එවන් වූ සැනසුම්දායක බුදු රුව නෙළන පුද්ගලයන් එය ඉෂ්ට සිද්ධ කරන්නේ උපරිම භක්තිමය හැඟීමකිනි.බොහෝවිට අප දකින එබඳු පුද්ගලයන් අතර, බුදු රුවට පණ පොවන කාන්තාවන් සිටිතැයි කීවොත් ඔබ විටෙක පුදුමයට පත්වනු නො අනුමාන ය. එහෙත් එබඳු කතුන් ද අප අතර සිටිනු දැකීම කෙතරම් භාග්‍යයක්ද?

මිනිස් සිත්සතන් තුළ බුද්ධාලම්භන ප්‍රීතිය ඇති කරමින්, තම දෑතින් බුදු රුව නිර්මාණය කරන ඇය නමින් ගයනි ශ්‍රීමාලි ය. ඇය බුදු පිළිම නිර්මාණකරණයට ප්‍රවිෂ්ට වූ ආකාරය පිළිබඳ අප සමඟ පැවසූවේ මෙලෙසිනි.

“මං පුංචි කාලෙ ඉඳන් ම චිත්‍ර කලාවට ලැදියාවක් දැක්වූවා. ළමා අවධියේදී නිවෙසේ බිත්ති මත චිත්‍ර ඇන්ඳ හැටි මට අද වගේ මතකයි. බුද්ධ රූපයක් දැක්ක ගමන් ඒක චිත්‍රයට නඟනකම් මට ඉස්පාසුවක් තිබුණෙ නෑ. අපේ පවුලෙ උදවියත් පන්සල එක්ක බොහොම ලැදියි. හාමුදුරුවො දවසක් අපේ නිවෙසට වැඩිය වෙලාවක,බිත්තියේ ඇඳ තිබුණු බුදු හිමි සංකප්ප පුරයට වැඩි අවස්ථාව නිරූපිත චිත්‍රය දැකලා, පන්සලේ චිත්‍ර අඳින්න මට ආරාධනා කළා. ඊට පස්සේ පන්සල් බොහොමයක චිත්‍ර අඳින්න ආරාධනා ලැබුණා.

බුදු පිළිම නෙළන කාර්යයේ මං නිරත වුණේ පාසල් කාලයේදීමයි. බුදු පිළිම නෙළද්දි,එහි ශාන්ත ඉරියවු නිර්මාණය කරනවිට ,විසිරුණු සිතිවිලි එක්තැන්වෙලා, සිත දැහැන්ගත වෙනවා.ඒක හරිම අපූරු අත්දැකීමක්. ඒ ආකාරයට ඇතිවන භක්තිමය හැඟීම් නිසා ම,සාර්ථක ආකාරයට බුදු පිළිම නෙළන්න හැකියාව ලැබුණා.”

කාන්තාවක් බුදු පිළිම නෙළීම නුසුදුසු බව සමාජ මතයයි. එම අදහසට අභියෝග කරමින් සිය නිර්මාණ හැකියාවෙන් උපරිම ප්‍රයෝජන ගැනීමට ඇය උත්සුක වූවා ය.ඇය සිය පන්සලේ හාමුදුරුවන්ගේ උපදෙස් අනුව කටයුතු කරමින් සිය කටයුතු ඉටු කළා ය.‍

“බුදු පිළිමයට නේත්‍රා තැබීමේදී,සංඝ රත්නයේ ආශිර්වාදය ලබා ගන්නවා. මං හිතන්නේ මේ දෙය පෙර සංසාරේ ඉඳලා මට ලැබුණු දෙයක් කියලයි. ඒ හුරුව තමයි තවමත් තිබෙන්නේ කියා මා හිතනවා. මා තුළ තිබුණු හැකියා ඔප මට්ටම් වෙන්න ජනකලා කේන්ද්‍රයේ චිත්‍ර හා මූර්ති පාඨමාලාව දැඩි රුකුලක් වුණා. සේවා ලංකා ආයතනය මඟින්, විහාර චිත්‍ර නිර්මාණය කරන්නන් සඳහා පැවැත්වූ පුහුණු වැඩමුළුවේදී, තායිලන්තයේ පැවැති වැඩමුළුව සඳහා සහභාගී වීමට සුදුසුකම් ලැබූ සයදෙනා අතර සිටි එක ම කාන්තා නියෝජිතවරිය වීමට අවස්ථාව ලැබීමත් භාග්‍යයක්.”

ඇය බුදු පිළිම නෙළීමේදී ප්‍රථමයෙන් ම මැටිවලින් පිළිම නෙළයි. පසුව රබර් අච්චුවක් සකසාගෙන,එම පිළිම එහි සකසයි. පසුදා උදේ වනවිට එම අච්චුවෙන් පිළිම ඉවත් කරයි. පසුව එම පිළිම වර්ණ ගැන්වීම සිදු කරයි. බුදු පිළිමයේ මුහුණ නිර්මාණය කරන්නේ, ඒ සඳහා යොදාගන්නා මිමිවලට අනුව වීම විශේෂත්වයකි. ඇය පවසන පරිදි සිමෙන්තිවලින් සැකසූ පෙනුම ඇති පිළිම සඳහා වැඩි දෙනාගේ කැමැත්ත තිබේ.

විහාරවල අඳින චිත්‍ර සඳහා ඇය භාවිත කරන්නේ දෙරණ තෙල්වලට හල්දුම්මල කුඩු දමා, උණුකර, පෙරා ගන්නා මිශ්‍රණය සහ විහාර සායම් ය.

ඇය මේ වනවිට සස්ත්‍රී නමින් බුදු පිළිම අලෙවි හලක් පවත්වාගෙන යමින්, සිය කර්මාන්තයෙන් පෙරමුණට පැමිණ ඇත. එය ඇයගේ වෘත්තිය වී ඇත.

“ධෛර්යය හා අධිෂ්ඨානය තිබෙනවානම්,කාන්තාවකට කළ නොහැකි දෙයක් නෑ. අවශ්‍ය උනන්දුව හා කැපවීමයි. කාන්තාවක් වුණා කියලා හැකියා සඟවාගෙන මුළු ගැහිලා ඉන්න ඕන නෑ. තමන් කරන දෙය ඕනෑකමින් කරනවානම්, ඉදිරි දැක්මක් ඇතිව ඉලක්ක පසුපස ගොස්, තම අභිප්‍රාය සපුරා ගන්න පුළුවන්. සෑම කාන්තාවක් සතුවම පවතින හැකියා, තමාගේ වුවමනාවෙන් ම ජයගන්නවා මිස, අන්‍යයන්ගේ පිහිටෙන් ගොඩනගාගන්න හිතුවොත්, කවදාකවත් ජයගන්න බෑ.”

ඇය පවසන මේ සිතිවිලි ඔබටත් ශක්තියක්.කාන්තාවක් වන ඔබට, දිරියෙන් නැගී සිටින්නට අවැසි නම්,ඇය පවසන මේ සිතිවිලි ඔබගේ දිවියට ආලෝකයක් ම වේවි.


නව අදහස දක්වන්න