ස්ටේෂන් මාස්ටර්ගේ මරණය | දිනමිණ

ස්ටේෂන් මාස්ටර්ගේ මරණය

මංජුලා විජයරත්න

 සිත සංවේගය උපදන පුවතක් ජපාන මාධ්‍ය ආයතන පසුගිය දා වාර්තා කර තිබිණි. පුවතින් කියවුණේ ජපානයේ සිටි එක ම බළල් දුම්රිය ස්ථානාධිපතිවරයාගේ මරණයයි. මේ දුම්රිය ස්ථානාධිපතිවරයා “ටමා” (Tama) යන නමින් හැඳින්වුණු බැළලියෙකි. දහසය හැවිරිදි වියේ පසුවුණු ඈ මියගොස් තිබුණේ හදවතේ හටගත් රෝග තත්ත්වයක් හේතුවෙනි.

මියයන්නට පළමුව ටමාව එරට සත්ව රෝහලක නවත්වා අවශ්‍ය ප්‍රතිකාර ලබාදෙන්නටත් දුම්රිය බලධාරීහු ක්‍රියාකළහ. එහෙත් වෛද්‍යවරුන්ගේ මතයවූයේ ටමා සෑහෙන වයස්ගත බළලකු බව ය. ටමාගේ වයස මිනිසකුගේ වයසට සමාන කරන්නේ නම් එය අවුරුදු 80ක් තරමේ වයසකි. ඒ නිසා ටමාව “ගොඩගැනීම” කිසියම් අසීරු තත්ත්වයක පවතින බව ඇය රෝහල් ගත කළ අවස්ථාවේ සිට ම වෛද්‍යවරු කියා සිටියහ.

ටමාගේ හදිසි රෝගාතුරවීම ගැන දැනගත් වහා ම වකයාමා විදුලි දුම්රිය මාර්ග සමාගමේ සභාපති මිත්සුනොබු කොජිමා ටමාව බලන්නට රෝහලට පැමිණියේ ය. සභාපතිවරයා එහි පැමිණියේ ටමා ඔවුන්ගේ සමාගමට අනුයුක්තව සේවය කළ නිසයි. තමන් සේවය කරන සමාගමේ ඉහළ ම පුටුවේ සිටින නිලධාරියා තමන්ගේ සුව දුක් සොයා බලන්නට පැමිණි වග ටමා දැනගත්තා ය. ඒ මොහොතෙහි ගිලන් යහනෙන් නැඟී සිටි ඈ සභාපතිවරයාට බලවත් හඬකින් ඤාව් ගෑමක් කළ බව “ද ජපන් ටයිම්ස්” පුවත්පත වාර්තා කර තිබිණි. එවෙලේ සභාපතිවරයා ටමාට ඉක්මන් සුවය ප්‍රර්ථනා කළ බවත් මාධ්‍ය වාර්තාවේ සඳහන් වේ.

ටමා දැරුවේ බටහිර ජපානයේ වකයාම ප්‍රදේශයේ පිහිටි කිෂි දුම්රිය ස්ථානයේ ගරු කටයුතු දුම්රිය ස්ථානාධිපති ධුරයයි. මේ තනතුරට ටමාව තෝරා පත්කර ගනු ලැබුවේ 2007 වසරේදී ය. එයට පෙර ටමා සේවය කළේ කිෂි දුම්රිය ස්ථානය ඉදිරිපිට ඇති දුරකතන කූඩුවක් තුළ බවත් සඳහන් වේ. 2007 වසරේ දුම්රිය ස්ථානාධිපති තනතුර ලැබීමත් සමඟම ටමා කිෂි දුම්රිය ස්ථානයට වගේ ම ජපාන ආර්ථිකයටත් නො පිරිහෙළා සිය සේවය ඉටු කළාය. ඒ, සිය දහස් ගණන් සංචාරකයන් තමන් වෙත ආකර්ෂණය කරගැනීම තුළිනි.

වකයාමා විදුලි දුම්රිය මාර්ග සමාගමට අයත් කිෂිගාවා දුම්රිය මාර්ගය 2005 වන විට ඒ හැටි ලාභයක් ලබමින් නොපැවැති බව කියැවේ. සමාගම, 2007 වසරේදී ටමාගේ සේවය කිෂි දුම්රිය ස්ථානයට එකතුකරන්නට සිතුවේ අලුත් සංකල්පයක් ක්‍රියාවට නංවමිනි. 2005 වසරේදී කිෂිගාවා දුම්රිය මාර්ගය පරිහරණය කළ මඟින් සංඛ්‍යාව මිලියන 1.92ක් බව වාර්තාවල සටහන්ව ඇත. එහෙත් 2014 වන විට මේ තත්ත්වය මුළුමනින්ම වෙනස් වී තිබිණ.

ඒ අනුව 2014 වසරේදී කිෂිගාවා දුම්රිය මාර්ගය පරිහරණය කළ මඟින් සංඛ්‍යාව මිලියන 2.2ක් දක්වා ඉහළ ගොස් තිබුණේය. මේ වෙනස ඇතිවුණේ ටමාගේ හුරුබුහුටි ස්වභාවය සහ දුම්රිය ස්ථානාධිපතිකමට බැළලියක එකතුකර ගැනීමේ නව්‍යතාව නිසා බව වකයාමා සමාගම් බලධාරීහු නොපැකිළවම පිළිගත්හ. ඒ වගේම කිෂි දුම්රිය ස්ථානය ආශ්‍රිත වෙ‍ෙළඳ සංකීර්ණයේ අලෙවි කටයුතු වැඩි වී ඇති බවකුත් අනාවරණය විණි. ටමාගේ ඡායාරූප මිලදී ගන්නට බොහෝදෙනකු පෙලඹී ඇති බැව් වෙ‍ෙළඳපොළ සමීක්ෂණවලින් තහවුරු විය.

දුම්රිය මඟටත් කිෂි දුම්රිය ස්ථානය අවට ප්‍රදේශයටත් ටමා කරන ලද සේවය අගය කිරීමක් 2008 වසරේදී සිදු විණි. මේ සේවා ඇගැයුම කළේ වකයාමාහි ආණ්ඩුකාරවරයායි. ඒ අනුව ආණ්ඩුකාරවරයා අතින් ටමාට සම්මානයක් පිරිනැමිණි. ඒ වගේම 2013 වසරේදී ඇයව, වකයාමා විදුලි දුම්රිය මාර්ග සමාගමේ උප සභාපති ධුරයට උසස් කෙරිණි.

ටමාගේ ආදාහන කටයුතු හෙට(28) කිෂි දුම්රිය ස්ථානයේදී සිදු කෙරෙන බව දුම්රිය සමාගම් බලධාරීහු දන්වා සිටිති. මේ සංවේග ජනක අවස්ථාවට දුම්රිය සමාගමේ සභාපතිවරයා, වකයාමා ආණ්ඩුකාරවරයා සහ තවත් සම්භාවනීය අමුත්තන් පිරිසක් සහභාගීවීමට නියමිත බව “ද ජපන් ටයිම්ස්” පුවත්පත වාර්තා කර සිටී.

ද ජපන් ටයිම්ස් ඇසුරිනි


නව අදහස දක්වන්න