පොල්පොට් සහ මිනිස්සු දෙන්නෙක් | දිනමිණ

පොල්පොට් සහ මිනිස්සු දෙන්නෙක්

මංජුලා විජයරත්න

 කාම්බෝජයේ නොම්පෙන්හි ටුඕල් ස්ලෙන්ග් බන්ධනාගාරය, බන්ධනාගාරයක් ලෙස හඳුන්වනවාට වඩා වධකාගාරයක් ලෙස හැඳින්වූවාට වරදක් නැත. මෙයට දශක හතරකට පමණ පෙර - එනම් කාම්බෝජය පොල් පොට්ගේ පාලනය යටතේ පැවැති අවධියේදී ටුඕල් ස්ලෙන්ග් බන්ධනාගාරය තුළ මනුෂ්‍ය ඝාතන සිදු වුණේ දහස් ගණනෙනි. ටුඕල් ස්ලෙන්ග් සිපිරි ගෙයි රඳවා සිටි රැඳවියන් ගණන කීයද? ඔවුන්ගෙන් කීදෙනකු ඝාතනයට ලක් වූවාද? යන්න ගැන අදටත් හරි හැටි ගණන් මිනුම් නැත. ඇතැම් වාර්තාවල සඳහන් වන ආකාරයට රැඳවියන් විසි දහසකට අධික පිරිසක් ටුඕල් ස්ලෙන්ග් තුළදී මරා දමා තිබේ. එදා සිටි බොහෝ කාම්බෝජ වැසියන්ගේ මතය වුණේ ටුඕල් ස්ලෙන්ග් සිරගෙදරට රැගෙන ගිය කිසිවකු නිදහස නො ලැබූ බවකි. ඒ වුණත් ටුඕල් ස්ලෙන්ග් සිරගෙදර සිරගත ජීවිතයක් ගතකර පසුකලෙක නිදහස ලැබූ දෙදෙනකු අදටත් ජීවත්වන බව ඔබට විශ්වාස කළ හැකිද? අද අසු තුන් හැවිරිදි වියේ පසුවන චුම් මේ සහ හැත්තෑ හතරවැනි වියෙහි පසු වන බෝවු මෙන්ග් ඒ දෙදෙනා ය.

හැත්තෑ ගණන් මැද භාගයේ සිට කාම්බෝජය තුළ ක්‍රියාත්මක වෙමින් පැවැතියේ කම්පුචියා කොමියුනිස්ට් පක්ෂයේ බලයයි. උතුරු වියට්නාමයෙන් හිස එස වූ වියට්නාම මහජන හමුදාව නමැති සංවිධානය අතු ඉති ලා අංකුර ඇදීමෙන් යට කී දේශපාලන පක්ෂය ඇති වුණේ 1968 වසරේදී ය. 1975 සිට 1979 දක්වා කාලය තුළ කාම්බෝජයේ පාලනය යටත් වුණේ පොල් පොට්ගේ නායකත්වයෙන් යුත් එම කම්පුචියා කොමියුනිස්ට් පක්ෂයටයි. පොල්පොට්ගේ පාලන කාලය තුළ ඔහුගේ රෙජීමය, පුද්ගලයන් මිලියන 1.7ත් 2.2ත් අතර ප්‍රමාණයක් මරා දැමූ බව සඳහන් වේ.

පෝල් පොට් බලයෙන් පහකර, පෝල් පොට් පාලනයෙන් කම්පුචියාව නිදහස් කරගන්නේ වියට්නාම කොමියුනිස්ට් පක්ෂයයි. එය සිදු වන්නේ 1979 වසරේදී ය. මේ නිසා 1978 වසරේ අග භාගය වන විට කාම්බෝජය තුළ එළෙඹෙමින් තිබුණේ පොල් පොට් පාලනයේ ද අවසාන භාගය යැයි කීම අසත්‍යයක් නො වේ. මේ කාලය වන විට මතු සඳහන් කළ චුම් මේ සේවය කළේ කාර්මික නිලධාරියකු හැටියටයි. ඔහු සිය සේවය ලබාදුන්නේ කාම්බෝජයේ එවකට ක්‍රියාත්මක වෙමින් පැවැති පොල් පොට් පාලනය ශක්තිමත් කරගැනීම සඳහා ය. වෙනත් විදිහකට කිවොත් චුම් මේ ඇප උපකාර කරමින් සිටියේ අර්බුධ රැසකට මුහුණපාමින් සිටි පොල් පොට්ගේ දේශපාලන ව්‍යාපාරයටයි.

1978 ඔක්තෝම්බර් 28වැනිදා කිසිදු හේතුවක් චුම් මේ වෙත නො දන්වමින් ඔහු ව අත්අඩංගුවට ගන්නට පොල් පොට් රෙජීමයේ හමුදා නිලධාරීහු ක්‍රියාකළහ. තමන් අත්අඩංගුවට ගත්තේ කුමණ හේතුවක් නිසාදැ යි කියන කාරණය එදා පමණක් නො ව අදටත් චුම් මේ දන්නේ නැත.

“මගේ ඇස් බැන්ඳා. අත් දෙක මගේ සිරුරේ පිටුපසට තියලා තද කරලා බැන්ඳා. මේ වෙලාවේදී මම මාව අල්ලගත්ත නිලධාරීන්ට කන්නලව් කළා, මම කොහෙද කියලා මගේ පවුලේ උදවියට දන්වන්න කියලා. ...” එදා මතකය කණගාටුවෙන් යුතුව චුම් මේ යළි අවුස්සන්නේ එසේ කියමිනි.

චුම් මේට තමන්ගේ පවුලේ උදවියට කිසිම පණිවුඩයක් යවන්නට ඉඩක් ලැබුණේ නැත. ඉහළ නිලධාරීන් පැමිණියහොත් සියලුදෙනා විනාශ කර දමනු ඇතැ යි කියා හමුදා නිලධාරීහු චුම් මේ ඉදිරියේ ගිගිරූහ. චුම් මේ රැගත් හමුදා නිලධාරීහු කෙළින් ම ගියේ එස් - 21 නමින් හැඳින්වුණු ටුඕල් ස්ලෙන්ග් බන්ධනාගරයටයි. එහි සිටි නිළධාරීන් කළේ චුම් මේගේ උස, බර මැනගෙන ඔහුගේ ඡායාරූප කිහිපයක් ගෙන ඔහු මැදිරියකට ඇදගෙන යාම ය. රැඳවියන් රඳවනු ලැබූ මැදිරි මිනිසකුට යාන්තමට ඉඳගෙන සිටින්නට සෑහෙන තරමේ ඉඩක් ඇති ඒවා විණි. එතුළට දමා පා විලංගු ලූ චුම් මේගේ සිතුවිලි ඒ වන විට හොඳට ම අවුල් වී තිබුණේ ය. ඔහු කෙරෙන් මතු ව ආ අසරණකම ඔහු ව බලාපොරොත්තුවලින් තොර තැනෙකට රැගෙන යමින් තිබිණි. අපේක්ෂාවන්ගෙන් තොර හිස් අවකාශයක සිර වූ චුම් මහ හඬින් හඬන්නට පටන් ගත්තේ ය.

හඬා දොඩා කොතෙක් වේදනා පිට කළත් ඔහුට සහනයක් ලැබුණේ නැත. ඒ විදිහට දොළොස් දිනක් ගෙවී ගියේ ය. ගෙවුණු දොළොස් දින තුළ සෑම දවසකදී ම තෙවරක් බන්ධනාගාර නිලධාරීහු ඔහු ව මැදිරියෙන් පිටතට රැගෙන යනු ලැබූහ. ඒ අනෙකකට නොව වධ දෙමින් ප්‍රශ්න කිරීම සඳහායි. වධ දෙමින් ප්‍රශ්න කරන්නට හැකි වාතාවරණයක් සහිත කාමර මේ බන්ධනාගාරය තුළ ඕනෑ තරම් තිබිණි.

ප්‍රශ්න කිරීම්වලදී නිලධාරීහු චුම් මේට පහර දුන්හ. මේ පහරදීම් කළේ වයර්වලින් ආවරණය කරන ලද මුගුරකිනි. එහෙම පහර දෙන අතරතුර තව ආරක්ෂකයෙක් පැන චුම් මේගේ පා නියපොතු එකින් එක උදුරා දමන්නට වූයේය. විදුලි කම්පන සිරුරට ඇතුළු කරද්දී ඇතිවුණු වේදනාව ඒ සියල්ලටම වඩා චුම් මේට දරන්නට අමාරුම දෙය විණි. කම්පන ඇතුළු කළේ කණ්වල කුහර තුළටයි. එයින් ඇතිවුණු හානි නිසා අදටත් ඔහුගේ එක කණක් ඇසෙන්නේ නැත. විද්‍යුත් කම්පන ලබාදෙද්දී තමන්ගේ හිස ගිණිගන්නා ආකාරයක් චුම් මේට දැනුණේ ය. ආරක්ෂකයන්ට දැනගන්නට වුවමනා කාරණා මොනවාද? ඒ සියල්ල ඔවුන්ගේ අභිමතය පරිදි තමන්ගේ මුවින් ප්‍රකාශ කර දමන්නට චුම් මේ පෙලඹුණේ වේදනාව වැඩිකමටයි.

සිහි බුද්ධියකින් තොරව කරන පාපොච්චාරණය සටහන් කරන්නට චුම් මේව වෙනත් කමරයකට රැගෙන යන ලදී. ඒ කාමරය තුළ එක තැනෙක මහ ඝන පා විලංගු ය. තවත් තැනෙක යකඩ ඇඳකි. ඇඳ මත කෘෂ මිනිසකු උඩුකුරුව වැතිර සිටිණු චුම් මේ දුටුවේය. ඊළඟට ඔහුගේ ඇස නැවතුණේ ඒ මිනිසාගේ කපා දැමූ ගෙල ළඟ ය. තැති ගත් චුම් මේට උඩ බැලුණේ ඉබේට ම වාගේයි. එවිට ඔහු දුටුවේ සිවිලිම මත රැඳී ඇති වියළි ලේ පැල්ලම් ය. මේ සිර මැදිරි තුළදී දෙන වධ වේදනා නිසා මිනිසුන් බොහෝ දෙනකුට ජීවිත අහිමි වන බව චුම් මේට දැනිණි.

පොල්පොට්ගේ රෙජීමයට වුවමනා වී තිබුණේ ඔවුන් සැක කරන පිරිස් අමෙරිකා හෝ රුසියානු හෝ රහස් ඔත්තුසේවා සමඟ සම්බන්ධකම් පවත්වන්නේ ද යන්න දැනගැනීමටයි. එහෙත් චුම් මේ මෙන් ම එහි රැගෙන විත් තිබූ කිසිවකු අඩුතරමින් ඒ කියන රහස් ඔත්තු සේවා ගැන අසාවත් තිබුණේ නැත. සත්‍ය එය වුවත් ටුඕල් සෙලෙන්ග් සිරගෙදර කිසිදු රැඳවියකුට තමන්ගේ නිර්දෝෂීභාවය ප්‍රකාශ කර නිදහස ලබන්නට ඉඩක් නො ලැබිණි.

මේ සිරගෙදරි මිදී ආ බෝවු මෙන්ග් කියන්නේ ද මෙයට ම සමාන කතාවකි. පොල් පොට්ගේ දේශපාලන ආධාරකරුවකු වූ බෝවු මෙන්ග් අත්අඩංගුවට පත් වන්නේ ඔහුගේ බිරිය ද සමඟිනි. අත්අඩංගුවට පත් වන විට බෝවු මෙන්ග් චිත්‍ර ශිල්පියකු විණි. ඔහුගේ බිරිය වින්නඹු මාතාවක වූවා ය. දෙදෙනා එකට අත්අඩංගුවට ගත්ත ද පසුව දෙදෙනා වෙන් කෙරිණි. බන්ධනාගාර නිලධාරීන් බෝවු මෙන්ග් ව විශාල සිර මැදිරියකට රැගෙන ගියේ ප්‍රශ්න කිරීමේ අරමුණ ඇතිවයි. විවිධ විධිහට වධ වේදනාවලට ලක්වීමෙන් කෘෂව ගිය මිනිසුන් රැසක් මේ මැදිරිය තුළ තැනින් තැන වැටී සිටින හැටි බෝවු මෙන්ග් දුටුවේ ය. චුම් මේගෙන් වගේම දවසට කිහිප වරක් බෝවු මෙන්ග්ගෙනුත් ප්‍රශ්න කෙරිණි. අන්තිමට මේ ප්‍රශ්න කිරීම නිමාවූයේ බෝවු මෙන්ග්ට එක කණක ක්‍රියාකාරිත්වය අහිමි කරමිනි. ඒ මදිවාට ඔහුගේ බිරියගේ ගෙල කපා ඝාතනය කර තිබිණි. පසු කලෙක මේ වග දැනගත් ඔහුගේ හද තුළින් නැඟුණු වේදනාව නිසා රූටා වැටුණු කඳුළු අදටත් ඔහුගේ නෙත් මත පොපියයි. දෑසට නැඟෙන ඒ කඳුළු අද ඔහු නවතා ගන්නේ බිරියගේ රුවක් සිතුවම් කිරීමෙනි.

චුම් මේ මෙන් ම බෝවු මෙන්ග් ද කියන ආකාරයට රැඳවියන්ට කෑමට දී තිබෙන්නේ තලප බවට පත් කළ ආහාර හැඳි දෙකකි. එය මිනිසකුට අනුභව කරන්නට සුදුසු මට්ටමක තිබී නැත. මේ නිසා බඩගිනි දැනුන අවස්ථාවලදි රැඳවියන් තම මැදිරි තුළ දුවන මීයන් පවා අල්ලාගෙන කෑ බව පැවසේ. සිර මැදිරි තුළ තිබූ එකම මෙවලම කුඩා පෙට්ටියක් පමණක් බව මේ දෙදෙනාම පවසති. ඒ පෙට්ටිය ලබා දී තිබුණේ මළ මුත්‍රා පහකිරීම සඳහා ය. මැදිරිය කිසිදු අවස්ථාවක අපිරිසුදු ආකාරයට තබන්නට රැඳවියන්ට ඉඩක් තිබුණේ නැත. පවිත්‍රතාව ගැන සොයා බලන්නට ආ නිලධාරීන් කළේ එහෙම අපිරිසුදු මැදිරිවල කැළි කසළ රැඳවියන්ගේ දිවෙන් පිස දමන්නට අණදීම ය. මියගිය මිනිසුන්ගේ දේහ මේ සිර ගේ තුළ ගඳ ගසමින් පැවැති අවස්ථා ගැනත් බෝවු මෙන්ග් මහත් සංවේගයෙන් සිහිපත් කරයි.

“... මුලදී මුලදී මම හිතුවේ නරක වුණු මාළු ගඳක් හරි නරක් වුණු මීයකුගේ ගඳක් හරි දැනෙන්නේ කියලා. මොකද මම දැනගෙන හිටියේ නැහැ මැරුණු මිනිසෙක් නරක්වෙන විට කෙතරම් ගඳ ද කියලා. පසුව තමයි මට කාරණය වැටහුණේ. ..” යැයි කියා ඔහු පවසයි.

බෝවු මෙන්ග්ගේ ජීවිතය බේරුණේ චිත්‍ර ශිල්පයට පින් සිදුවන්නටයි. වරක් ඔහු වෙත පැමිණි බන්ධනාගාර ප්‍රධානියා ඔහුට පොල්පොට්ගේ රුවක් සුදු සහ කළු පැහැ පමණක් මුසුකරමින් සිතුවම් කරන්නට කිව්වේ ය. මේ අවශ්‍යතාව හරිහැටි සපුරන්නට නො හැකි වී නම් තමන්ගේ ජීවිතය වුව නැති වන බව බෝවු මෙන්ග්ට දැනී තිබිණි. ඒ නිසා ඔහු තමන්ට හැකි උපරිම හොඳින් මේ සිතුවම නිම කළේ ය. බන්ධනාගාර ප්‍රධානියා බෝවු මෙන්ග්ගේ සිතුවම දැක සතුටට පත් වූ බව බෝවු මෙන්ග් පවසයි.

මේ නිසා ඔහුට ප්‍රධානියාගෙන් සිතුවම් සඳහා තව තවත් ඇණවුම් ලැබිණි. ඒ ඇණවුම් අනුව කාල් මාර්ක්ස්, ලෙනින්, මාවෝ සේතුන්ග් සහ හෝ චී මින් වැනි නායකයන්ගේ රූ සිත්තම් කරන්නට බෝවු මෙන්ග්ට සිදු විණි. බන්ධනාගාර ප්‍රධානියාට දේශපාලන නායකයන්ගේ රූ මෙපමණට ම අවශ්‍ය වුණේ ඇයිදැයි කියා බෝවු මෙන්ග් අදටත් නො දනී. චුම් මේ ජීවිතය බේරා ගත්තේ තමන් දන්නා කාර්මික ශිල්පය භාවිතයෙන් සිරගෙදර යන්ත්‍ර සූත්‍ර අලුත්වැඩියා කර දීමෙනි. මහන මැෂින් සහ යතුරුලියන තමන්ට බහුල වශයෙන් අලුත්වැඩියා කරන්නට සිදු වුණු බව චුම් මේ පවසයි.

1979 වසරේදී වියට්නාම හමුදා නොම්පෙන් නගරය අත්පත් කර ගැනීමත් සමඟම පොල් පොට්ගේ පාලනය බිඳ වැටිණි. ඒ වහාම ටුඕල් සෙලෙන්ග් සිරගෙදර ආරක්ෂකයෝ ඉතිරි වී සිටි රැඳවියන්ද රැගෙන පලා යන්නට පටන් ගත්හ. රැඳවියන්ගෙන් කිහිපදෙනකු පමණක් ආරක්ෂකයන්ගෙන් මිදී තමන්ගේ නිවෙස් කරා පැමිණි බව සඳහන් වේ. එදා පලා ආ රැඳවියන්ගෙන් තිදෙනකු ජීවත් ව සිටින බව 2011 වසරේදී කරන ලද සොයා බැලීම්වලින් අනාවරණ විණි. චුම් මේ සහ බෝවු මෙන්ග් ද ඒ තිදෙනා අතර සිටිහ.

1980 වසරේදී ටුඕල් සෙලින්ග් වධකාගාරය නැවත විවෘත වුණේ කෞතුකාගාරයක් හැටියට වීම විශේෂත්වයකි. චුම් මේ සහ බෝවු මෙන්ග් අද මේ කෞතුකාගාර බිමේදී නිතර දෙවේලේ දකින්නට පුළුවන. කෞතුකාගාරයට යන එන දහස් ගණන් ජනයාට එදා එහි පැවැති වධකාගාරයේ තතු අද කියාදෙන්නේ මේ දෙදෙනායි.

බී.බී.සී. ඇසුරිනි


නව අදහස දක්වන්න