අලුත් විදුහල්පතිනිය | දිනමිණ

අලුත් විදුහල්පතිනිය

නිශානි ප්‍රියන්ති

 තමා තුළ තවත් කෙනකු ජීවත්වන බව ඔහුට දැනෙන්නට වූයේ ඉතා කුඩා කල සිට ම ය. ඒ යම්කිසි තැනැත්තියකි. තමන් “ඔහු” නොව “ඇය” ට වඩාත් සමීප බව දැනුණේ වරක් දෙවරක් නො වේ. උපතින් පිරිමි ශරීර ලක්ෂණ දරා සිටිය ද තමන්ගේ සිත අරගල කළේ ගැහැනියක වීමට ය. මේ බාහිර පිරිමි හැව හැරදා කවදා තමන්ගේ නියම ස්වරූපය අත්කර ගත හැකිවේදැ යි ඔහු සිහින දුටුවේ ය. සමාජ සංස්කෘතික බලපෑම රටේ පිළිගත් සම්ප්‍රදාය යන මේ සියල්ල ඔහුට එරෙහිව තිබිණි. අන්තිමේ දී ඔහු තුළ වූ ඇය ජය ගත්තා ය. ඒ මැදි වයසට ඔන්න මෙන්න කියා තිබියදී ය. දැන් බාහිරව මෙන් ම අභ්‍යන්තරය තුළින් ද ඇය, ඇයම ය. එපමණක් ද සමාජ සංස්කෘතික ප්‍රවාහය තුළ තමන් වැන්නන් නියෝජනය කරමින් ප්‍රබල මතවාදයක් ගොඩනැංවීමට ඇය සමත් වූවා ය. අන්තිමේදී ‍රටේ ආණ්ඩුවත් මේ කියන ඔහු තුළ ඇය ලෙසින් හෝ ඇය තුළ ඔහු ලෙසින් ජීවත්වන දෙබඩි මිනිසුන් හට තමන් කැමැති ස්වරූපයට පත්වීමේ අයිතිය පිළිගෙන තිබේ.

මේ කතාව අපේ අසල්වැසි ප්‍රබල රාජ්‍ය වන ඉන්දියාවෙනි. ඉන්දියාවේ බෙංගාලි ප්‍රාන්තය මිනිසුන්ට තම ගැහැනු පිරිමි බව තීරණය කරමින් තමන් කැමැති ලිංගයකට මාරුවීමේ අයිතිය මුලින් ම පිළිගත් මෙන් ම එය නීතිගත කළ ප්‍රාන්තයයි. එසේ ම දැන් ඉන්දියානු මධ්‍යම රජයේ ඒකමතික අනුමැතිය ද 2014 ලිංග විපරිනාමයට කැමැති මිනිසුන්ගේ අයිතිය පිළිබඳ පනත නමින් අලුත් නීතියක් ද කෙටුම්පත් කර හමාර ය. ඒ අනුව අපේ කතා නායිකාව වන ආචාර්ය මනාබි බන්දෝපාධ්‍ය ඉන්දියාවේ ලිංග විපරිනාමයට ලක්වූ ප්‍රථම මුල් ගුරුවරිය ලෙස සියලු සමාජ සංස්කෘතික බාධක බිඳහෙලා ඉදිරියට පැමිණ තිබේ.

ආචාර්ය මනාබි බන්දෝපාධ්‍ය පසුගියදා බෙංගාලයේ නදීයා දිස්ත්‍රික්කයේ ක්‍රිෂ්නාගර් කාන්තා විද්‍යාලයේ විදුහල්පති ලෙස වැඩ භාරගත්තේ ඉතා උත්කර්ෂවත් පිළිගැනීමක් ද සහිතව ය.

ඇය උපන්නේ බෙංගාලයේ කල්කටාවට වඩාත් දුරින් පිහිටි නෙයිහාටි ගම්මානයේ මධ්‍යම පන්තික පවුලක ය. ඇය උපන්නේ සෝමනාත් බන්දෝපාධ්‍ය ලෙසිනි. සෝමනාත් හට උපන් දා සිට ම තමන් තමන්ට ම ගැටලුවක් බවට පත්ව තිබිණි. පිරිමි දරුවෙක් ලෙස හැදී වැඩුණද තමන්ගේ අභ්‍යන්තරය තුළ වෙසෙන්නේ පිරිමියකු නොව ගැහැනියක බව වැඩි කලක් නො යාම ඔහුට තේරුම් ගියේය. එහෙත් ඉන්දියාව යනු ආගමික මතවාද, පාරම්පරික බන්ධන, තහංචි මෙන් ම සමාජ සංස්කෘතික සම්ප්‍රදා මහ ඉහළින් සලකන රටකි. එවන් රටක තමන් හට කිසිදු දිනෙක තමන් උපත ලැබූ පුරුෂ වේෂය හැරදා ගැහැනියක වීමට හැකි වේ යැයි ඔහු සිතුවේ නැත. එහෙත් ඒ සඳහා තිබෙන බාධක බිඳහැරිය හැකි හොඳ ම අවිය අධ්‍යාපනය බව ඔහු වටහා ගත්තේ ය. ඒ අනුව ආචාර්ය උපාධිය දක්වා ම උගත්තේ ය. බෙංගාලයේ විවේකානන්ද සතෝබාරිශිකි උසස් විද්‍යාලයේ සහකාර මහාචාර්ය ධුරය ද දැරුවේ ය. ඒ අතර ම මානව හිමිකම් සහ පුද්ගල නිදහස පිළිබඳ තනිව අරගල කරන්නකු බවට පත් විය. මේ සියලු කාරණා එකතුව ඔහු පිළිගත් සිවිල් බලයක් තමන් වෙත ආරෝපණය කරගත්තේ ය. බෙංගාලි ප්‍රාන්ත රජය ලිංග මාරුවට කැමැති පිරිස හෙවත් තෙවැනි පුරවැසියන්ගේ අයිතිය පිළිගැනීමට අවශ්‍ය සාධක රැස්කරන අවස්ථාවේදී ඒ සඳහා පිහිටවූ කමිටුවට ඔහු ද තෝරා ගැනුණි. ලිංග විපරිභාවයට ලක්වීමට කැමැති පිරිස‍ගේ සංවර්ධන කටයුතු සඳහා වූ ප්‍රාන්ත මණ්ඩලයේ උප සභාපති ධුරය ඔහුට හිමිව තිබිණි. තනිව තමන් තුළ වූ අරගලය ජය ගැනීමේ වාසනාව ඔහුට උදාවූයේ මෙයට දශකයකට පමණ ඉහතදී ය. ඒ අනුව තමන්ගේ පුරුෂ හැව ඉවත් කර දමා කාන්තාවක ලෙස මුළුමනින් ම වෙනස් වීමට අවශ්‍ය ශල්‍යකර්ම සඳහා ඔහු මුහුණ දුන්නේ ය. සෝමනාත් - මානාබි බවට පත් වූයේ ය. වඩාත් අපූරු කාරණාව වූයේ ඉතා දක්ෂ පරිපාලකයකු ලෙස තමන් සෝමනාත්ව සිටියදී සමාජය තුළ දිනාගත් සිවිල් බලය හේතුවෙන් දැන් මානාබි බවට පත් ව සිටින ඇයට ගැහැනු පාසලක විදුහල්පති ධුරය බඳු භාරදූර වගකීමක් ලැබීමය.

ක්‍රිෂ්නාගර් කාන්තා උසස් පාසල ඇය පිළිගන්නේ මල්දමින් සරසමින් කැවුම්, කිරිබත්, රසකැවිලි සහිත ලොකු උත්සවයක් ද පවත්වමිනි. ඇගේ ආත්ම ධෛර්යය ඔවුන්ගේ පැසසුමට හේතු විය. සංස්කෘතික, ආගමික තහංචි බිඳ දමා ආගමික මතවාද සුන්කර දමා තමන් තුළ වෙසෙන සැබෑ තමන්ව මතුකර ගන්නට ඇය ගත් විප්ලවීය පියවර දැන් ඉන්දියාව පුරා ම මහත් ආශ්වාදයට ලක්වූ කරුණක්ව තිබේ.

ආචාර්ය මනාබි බන්දෝපාධ්‍ය 2013 වසරේ සිට ම රියැලිටි රූපවාහිනී වැඩසටහනකට ද සහභාගි වන්නී ය. එමඟින් තමන්ගේ ජයග්‍රහණය පිළිබඳ කතාව ලෝකයට ම පවසමින් ‍තමන් තුළ ම අතරමංව සිටිනා ද්විලිංගිකයන්ගේ ජීවිතවලට ආලෝකය ලබා දෙන්නී ය. එපමණක් ද ‍දැන් ඇය එක්දරු මවකි. දෙබාෂීස් නමැති ඇගේ හදාවඩා ගැනීමට ගත් පුතා ද ඇගේ වෙනස පිළිබඳ ධනාත්මක ඇසකින් බලන දරුවෙකි. මිනිස් ශරීර කූඩුව තුළ විවිධ විපරිනාමයන්ට ලක්ව කඳුළු සලන ආත්මවලට මේ කතාව මහත් ශක්තියක් උදාකර දෙන්නකි.


නව අදහස දක්වන්න