20 සංශෝධනයේ අවසන් තීරණය අද, අද ම ගැසට් නිවේදනයත් | දිනමිණ

20 සංශෝධනයේ අවසන් තීරණය අද, අද ම ගැසට් නිවේදනයත්

සිතාරා සේනානි
මහින්ද අලුත්ගෙදර
ඉසුරු සුලෝචනා

විසි වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් අද (12) පැවැත්වෙන විශේෂ කැබිනට් රැස්වීමේදී අවසන් තීරණයකට එළැඹ එදිනම එම සංශෝධනය ගැසට් කිරීමට පියවර ගන්නා බව කැබිනට් ප්‍රකාශක, සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය ඇමැති වෛද්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.

සුළු පක්ෂ ද කැබිනට් මණ්ඩලය නියෝජනය වන හෙයින් අද පැවැත්වෙන කැබිනට් රැස්වීමේදී ඔවුන්ගේ අදහස් විමසා බැලීමට අවස්ථාව ලැබෙන බවද ඇමැතිවරයා පවසයි.

ඇමැති වෛද්‍ය රාජිත සේනාරත්න මහතා මේ බව පැවැසුවේ රජයේ ප්‍රවෘත්ති ශ්‍රවණාගාරයේ ඊයේ (11) පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් මතු කරන ලද ප්‍රශ්නවලට පිළිතුරු දෙමිනි.

පාර්ලිමේන්තුව නියෝජනය කරන මන්ත්‍රීවරුන් සංඛ්‍යාව 225 ක් විය යුතු බවට මේ වනවිට එකඟතාව පළවී තිබෙන බව කී ඇමැතිවරයා එයින් 25ක් ජාතික ලැයිස්තුවෙන් පත් කර ගන්නා බවත්, ඉතිරි 200 දෙනා කේවල ක්‍රමය සහ සමානුපාතික ක්‍රමය යටතේ පත් කෙරෙන අන්දම පිළිබඳ ‍විශේෂ කැබිනට් රැස්වීමේදී අවසන් තීරණයක් ගනු ඇති බවත් කීවේය.

කළින් තීරණය කළ 255ක් වූ මන්ත්‍රීවරුන් සංඛ්‍යාව 225ක් විය යුතු බවට ප්‍රතිපත්තිමය තීන්දුවකට එළැඹ තිබෙන්නේ එක්සත් ජාතික පක්ෂය බවද ඇමැතිවරයා මෙහිදී ප්‍රකාශ කළේය.

19 වැනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත කර ගැනීමට තිබූ හදිසිය 20 සම්බන්ධයෙන් නැත්තේ මන්දැයි මාධ්‍යවේදියකු නඟන ලද ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඇමැතිවරයා පැවැසුවේ එවැනි ප්‍රශ්නයක් මතුව තිබෙන්නේ 19 සම්මත කළේ අනුන්ගේ බලතල අඩු කිරීම වීමත්, 20න් සිදුවන්නේ තමන්ගේ බලතල අඩුකිරීමත් නිසා බවත් ය.

රජය පාර්ලිමේන්තු මැතිවරණයකට යන්නේ 20 වැනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත කර ගැනීමෙන් පසුව බවත් ඇමැතිවරයා මෙහිදී අවධාරණය කළේය.

රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය දර්ශනී ගුණතිලක මහත්මියද, යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් ජයනාත් ජයසූරිය, රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ වසන්තප්‍රිය රාමනායක, නියෝජ්‍ය ප්‍රවෘත්ති අධ්‍යක්ෂ හිල්මි මොහොමඩ් මහත්වරු ද මේ අවස්ථාවට සහභාගී වූහ.


නව අදහස දක්වන්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.

Or log in with...